Wednesday, January 15, 2025

General line - 0115112241

ලංගමය විදුලි බස් 50 ගේන්න සුදානම් වෙයි! ඕන කෙනෙකුට ටෙන්ඩරය ගත හැකියි

නිශාන් ද සිල්වා




ශී‍්‍ර ලංගම හරිතකරණය කරමින් එහි බස් ඇණියට විදුලි බස්රථ 50 ක් අලූතින් මිළදී ගැනීම සදහා අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනාව කඩිනමින් කි‍්‍රයාත්මක කරන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජී එස් විතානගේ පැවසුවේ නියමිත ටෙන්ඩර් පටිපාටිය යටතේ අදාළ මිළදී ගැනීම් සිදුකරන බවයි. ටෙන්ඩර් කැදවීම් ලබන ජනවාරි හෝ පෙබරවාරි මාසවලදි සිදුකිරීමට අපේක්‍ෂා කරන බවද ඔහු පැවසුවා.

 ඕනෑම අයෙකුට ඒ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ වෘත්තී සමිතිවලින් ද විමසීමක් කළා. සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පැවසුවේ අදාළ යෝජනාව යහපත් එකක් වුවත් එම යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට මුදල් වෙන්කර ඇතැයි අයවැය කතාවෙන් තේරුම් නොගිය බවයි. 

වෘත්තීය සමිති කරන මෙම චෝදනාව සම්බන්ධයෙන්ද නෙත් නිවුස් ප‍්‍රවාහන අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. එහි ලේකම් ජී එස් විතානගේ පැවසුවේ සියළු මුදල් වෙන් කිරීම් අයවැය කතාවකට ඇතුළත් නොවන බවයි. අයවැය කතාවක ඇතුළත් වන්නේ මූලික මුදල් වෙන් කිරීම්වලට අමතර විශේෂ යෝජනා සදහා වන මුදල් වෙන් කිරීම් බවද ඔහු පැහැදිලි කළා. 

තවද අයවැයෙන් මුදල් වෙන් කෙරෙන්නේ ආයතන වශයෙන් නොව අමාත්‍යාංශ වෙත බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ඒ අනුව ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ ශී‍්‍ර ලංගමට මුදල් වෙන් කරන බවද ඔහු කියාසිටියා.