Tuesday, May 7, 2024

General line - 0115112241

දෙමළ ජනතාව වෙනුවෙන් විකල්ප කණ්ඩායමක්

වසන්ත පිවිතුරු




දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කිරිම සඳහා මන්නාරම රදගුරු ගරු කිංග්ස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණන් ඇතුළු පිරිසක් මැදිහත් වී සිටිනවා.

මේවන විට මන්නාරම රදගුරු නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂවල නායකයින් මෙම සාකච්ඡාවට සහභාගී වූ බවයි දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග කියා සිටියේ.

මෙම සාකච්ඡාවට කොළඔ සිට විද්වතුන් පිරිසක් ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් උතුරු - නැගෙනහිර ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියා.

ඔහු කියා සිටියේ දෙමළ ජනතාව වෙනුවෙන් විකල්ප කණ්ඩායමක් බිහි කිරීමේ අවශ්‍යතාව මත මෙම පියවර ගන්නා බවයි.

උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගෙන මෙම විකල්ප සන්ධානය ස්ථාපිත කිරිමට නියමිතයි.

ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කියා සිටියේ.

දෙමළ ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල දෙමළ ජාතික සන්ධානය කඩ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම නිසා දෙමළ ජාතික සන්ධානය කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටි ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.