Tuesday, May 7, 2024

General line - 0115112241

උතුරේ 9141 පීඩාවට

මාධව කුලසූරිය - වවුනියාව / වසන්ත පිවිතුරු




උතුරු පළාතට පවතින අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 2518 ක පුද්ගලයින් 9141 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් පැවසූවේ පවතින වර්ෂාව හේතුවෙන් නිවාස 4 ක් පූර්ණ වශයෙන් විනාශ වි ඇති අතර, නිවාස 159 කට අර්ධ හානි සිදුවි ඇති බවයි.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

ඒ පවුල් 643 ක පුද්ගලයින් 2352 දෙනෙකු ලෙස සඳහන්.

පවතින වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ තාවකාලික නිවාස තුළ ජිවත්ව වන පිරිස් වැඩි වශයෙන් පීඩාවට පත්ව සිටින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය හරහා සහන සේවා සපයමින් සිටිනවා.

මේ අතර දිවයිනට ඊසාන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ උතුරු අර්ධයේ වැසි සහ අහස වලාකුලින් බරව පවතින බවට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුර, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං ද අපේක්ෂා කෙරෙනවා.

උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

සෙසු ප්‍රදේශ වල සවස 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තරමක් තද වැසි ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල පෙරවරු කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.