Wednesday, May 8, 2024

General line - 0115112241

කඩ වුණු පොරොන්දුවත් සමග සමු දෙන්න සූදානම් වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් - අවසන් තීරණය කියන්න සිවාජිලිංගම් ලෑස්ති වෙයි

වසන්ත පිවිතුරු




දෙමළ ජාතික සන්ධානය තුළ ඇතිවී තිබෙන අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා එහි සාමාජීක පක්ෂ අද (12) දිනයේ ද රැස්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් nethnews.lk වෙත කියා සිටියේ අදාළ සාකච්ඡාවෙන් පසු හෙට (13) දින අවසන් තීරණයට එළඹෙන් බවයි.

කෙසේ වෙතත් පක්ෂයේ පවතින යම් යම් ගැටලු නිරාකරණය කරගෙන ඉදිරියට ගමන් කරන්නට තමන් උත්සහ කරන බවයි සිවාජිලිංගම් මන්ත්‍රිවරයා පැවසුවේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් ඊයේ (11) පැවසුවේ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරමින් දෙමළ ජනතාව වෙනුවෙන් විකල්ප දේශපාලන පක්ෂයක් ආරම්භ කිරිමට තමා නායකත්වය ලබා දෙන බවයි.

දෙමළ ජාතික සන්ධානය ජනතාව වෙත ලබාදුන් පොරොන්දු කඩ කරමින් ක්‍රියාත්මක වන අතර එම පක්ෂය සම්බන්ධයෙන් මෙතෙක් පැවති විශ්වාසය බිඳ වැටි ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය පළාත් පාලන මැතිවරණයට තනිව තරග කරන බවට පසුගියදා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සහ උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුර පිළිබඳ ගැටලූ සම්බන්ධයෙන් ද ගැටළු මතු වුණා.

පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගැනීමට නොහැකි බව පවසමිනුයි ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රිවරයා පළාත් පාලන මැතිවරණයට තනිව තරග කිරීමට තීරණය කළේ.

දෙමළ ජාතික සන්ධානයේ මෙම අභ්‍යන්තර අර්බුදය විසඳීම සමබ්නධයෙන් ඊයේ දිනයේ ද සමාජික පක්ෂ මන්නාරම රදගුරු නිල නිවසේ දී රැස්වුණා.

එහිදී අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

පක්ෂය බිඳි යාම වැළැක්වීම සඳහා මන්නාරම රදගුරු කිංග්ස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණන් ද මැදිහත්වී තිබීම විශේෂත්වයක්.

පියතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම රදගුරු නිවසේ ඊයේ (11) පැවති සාකච්ඡාවේදී උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ සියලූ ගැටලූ මගහරවා ගෙන එක්ව මීළග මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි.

කෙසේ නමුත්, මෙම සාකච්ඡාව සඳහා ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහභාගි නොවූණේ නැහැ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරමින් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා සහ ප්ලොට් සංවිධානය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය ෂිවනේෂන් සහ ප්ලොට් නියෝජ්‍ය නායක එස්.මෝහන් සහභාගි වී තිබෙනවා.

ටෙලෝ සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් ශ්‍රී කාන්තා සහ තවත් නියෝජිතයින් දෙදෙනෙකු සහභාගි වී ඇති අතර, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය වෙනුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂිව ශක්ති ආනන්දන් සහ තවත් නියෝජිතයින් දෙදෙනෙකු සහභාගි වී තිබෙනවා.

ඡායාරෑප වන්නි රොමේෂ් මධුශංඛ