Friday, May 3, 2024

General line - 0115112241

"අඩු මුදලට කන්න ගියා..කොන්ක්‍රීට් එක කඩාගෙන වැටුණා" - රාජකීයයන් බිළිගත් රාජගිරිය වාහන අනතුරේ ඇත්ත මෙන්න (UPDATE /PHOTOS)

සුගත් ධර්මප්‍රිය/බී.සී.කුමාර




කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලැබූ රිය අනතුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේවනවිට වාර්තා වී තිබෙනවා.

අද අළුයම 01.00ට පමණ මෙම අනතුර සිදුවූයේ රාජගිරිය සිට මාදින්නාගොඩ දක්වා දිවෙන මාර්ගයේයි.

රාජකීය විදුහලේ ප්‍රදර්ශනයක කටයුතු සඳහා සහභාගිවූ සිසුන් 11 දෙනෙකු ඩබල් කැබ් රථයක සහ කාර් රථයක නැගී රාජගිරිය ප්‍රදේශයේ නාවල දෙසට දිවෙන මාර්ගයේ පිහිටි රාත්‍රී අවහන්හලකින් ආහාර ලබාගෙන තිබෙනවා.

අනතුරින් බේරුණු සිසුවෙකු පොලිසියට සඳහන් කර ඇත්තේ "අඩු මුදලට ආහාර ගැනීම සඳහා " එම ස්ථානයට පැමිණි බවයි.

පසුව අඹගහ හන්දිය පසුකර IDH ප්‍රදේශයට ගොස් සිසුවකු නිවස අසළින් බස්සවා ඇති ඔවුන් එම ප්‍රදේශයේදී වාහන වේගයෙන් පදවමින් කාලය ගත කර පසුව  මහනියර හන්දියෙන් හරවා රාජගිරිය ප්‍රදේශයට පැමිණෙමින් සිටිය දී ඉදිරියෙන් ධාවනයවූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට ගොස් අනතුරට ලක්ව තිබෙනවා.

එය දුටු පිටුපසින් පැමිණි වාහනය පැදවූ සිසුවාට ද සිය වාහනය පාලනය කර ගැනීමට නොහැකිව කැබ් රථයේම ගැටුණු බවයි අනතුරින් බේරුණු සිසුවකු පොලීසියට දැනුම්දී ඇත්තේ.

පසුව අනතුරට ලක්වූවන් වාහනවලින් ඉවතට ඒමට උත්සාහ දරා ඇති අතර ඒ සමග ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් ඔවුන් මතට ඇද වැටී තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

 

...............................................................

රාජකීය සිසුන් රැගත් වාහන දෙකක් අනතුරක - සිසුවෙක් මරුට..හතකට තුවාල..තුන් දෙනෙකුට බරපතලයි (PHOTOS)

12-11-2017 12:11

රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

විද්‍යාලයේ පැවති වැඩසටහනකට  අනතුරුව කැබ් රථයක සහ කාර් රථයක නැගී එම විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගනිමින් සිටිය දී අද (12) අලුයම 01.00ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ රාජගිරිය සිට මාදින්නාගොඩ දෙසට දිවෙන මාර්ගයේ දීයි.

කැබ් රථය වෙළඳ ගොඩනැගිල්ලක  ගැටීම නිසා මෙම අනතුර සිදුවූ අතර එහිදී තවත් නව දෙනෙකු  තුවාල ලබා ඇති බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.


එම අනතුරේ ඡායාරූප පහතින් දැක්වෙනවා.