Monday, May 6, 2024

General line - 0115112241

"මහලු යුද වැද්දා"- ට්‍රම්ප්ට උතුරු කොරියාවෙන් දැඩි ප්‍රහාරයක්

සුගත් ධර්මප්‍රිය - අන්තර්ජාලය ඇසුරිනි




උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මුල් කර ගනිමින් වොෂින්ටනය සහ 'ප්යෝන්ග්යෑන්' පාලනය අතර වාග් සංග්‍රාමය යළි කරළියට පැමිණ ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙවර විශේෂත්වය වන්නේ එම වාග් සංග්‍රාමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයක නිරත වෙමින් සිටියදී යළි මතු වීමයි.

අමෙරිකා එක්සත් ජනපදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'මහලු යුද වැද්දකු' ලෙස හඳුන්වා දී තිබෙනවා.

ඒ අතරම, සිය න්‍යෂ්ටික ව්‍යාපෘතිය නතර නොකරන බවත් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා අවධාරණය කළා.

ඊට පිළිතුරු සපයමින් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ට්‍රම්ප්, ඔහු විසින් කිම් ජොන් අන් 'තරබාරු මිට්ටකු' ලෙස කිසිවිටක හඳුන්වා නැති අතරවාරයේ තමාට 'මහල්ලකු' ලෙස සරදම් කරන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කර තිබෙනවා.


තවදුරටත් අදහස් දක්වන ඇමෙරිකානු ජනාධිපතිවරයා තමා උතුරු කොරියානු නායකයාගේ මිතුරකු වීමට දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින අතර ඇතැම්විට අනාගතයේ දිනයක එය පල දැරීමට ඉඩකඩ ඇති බවත් සඳහන් කරනු ලැබූ බවයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ.