Friday, May 17, 2024

General line - 0115112241

වරද නිවැරදි කර දුන් ඇමති (VIDEO)

සමන්ත කුමාර / වසන්ත පිවිතුරු




අය - වැය 2වන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳව අද (14) දිනයේ දී ද විවාද කිරිමට නියමිතව තිබෙනවා.

මෙවර අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පල කරමින් සිටිනවා.

ඇතැමුන් පවසන්නේ 2018 අයවැය යෝජනාව සහන රැසකින් සමන්විත බවයි. තවත් පාර්ශවයක් කියා සිටියේ මෙම අයවැය යෝජනාව බදුවලින් පිරුණු අයවැයක් බවයි.

කෙසේ වෙතත් අය - වැය 2වන වර කියවීමේ විවාදයේ හතරවන දිනය වූ ඊයේ (13) දිනයේ දී මෙවර අයවැයෙන් සංචාරක කර්මාන්තයට මෙන්ම තිරසර සංවර්ධනයට පදනමක් දමා ඇති බව සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටියා.

හිටපු ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක් ලෙස මෙය දැක්විය හැකි බව මෙහිදී ඔහු කියා සිටියා.

මෙම අයවැය මගින් අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍රවලට විශාල මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයට ද විශාල මුදලක් වෙන් කර ඇති අතර, එය තිරසාර සංවර්ධනයකට පදනම වනු ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ශීව ශක්ති ආනන්දන් ඊයේ (13) පාර්ලිමේන්තුවේ දී අදහස් පල කර සිටියා.

මන්ත්‍රිවරයා කියා සිටියේ රණවිරුවන් ආරක්ෂා කිරිමට කටයුතු කරන බවට පසුගියදා ජනාධිපතිවරයා සිදු කළ  ප්‍රකාශ  සාධාරණ නොවන බවයි.

නමුත් ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය නිවැරදි කරමින් අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදුන්නා.

මෙවර අය - වැයේ ඇති සැබෑ ලෙසම අනතුරුදායක තැන් ජනප්‍රිය මාතෘකා විසින් යටපත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

මෙය ආණ්ඩුව හිතා මතා කළ එකක් බවට ද ඔහු ඉඟි පළ කළා.

මේ අතර, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක පුහුණු ශ්‍රමිකයන්ගේ හියක් පවතින බවයි.

ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ද එය බාධාවක් වී ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම කරුණු ප්‍රකාශ වුයේ අය - වැය 2වන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේදියි.