Friday, May 17, 2024

General line - 0115112241

අයවැයට ගුරු වෘත්තිය සමිතිවලින් චෝදනා

නිශාන් ද සිල්වා




සැමට වසර 13ක අධ්‍යාපනයක් යන තේමාව යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් මෙවර අය - වැයෙන් යෝජනා කර ඇතත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණු ගණනාවක් එහි මගහැර ඇතැයි ගුරු වෘත්තිය සමිති චෝදනා කරනවා.

පාසල් විෂය මාලව සදහා ජාන විද්‍යාව, කේතකරණය, රොබෝ විද්‍යාව සහ නැනෝ තාක්ෂණය යන විෂයන් හඳුන්වා දීම අය - වැයේ ඇතුළත් එක් යෝජනාවක්.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සහ ස්මාර්ට් පන්ති කාමර යන සංකල්පය ද මෙමගින් අවධාරණය කර තිබෙනවා. 

ඊට ප්‍රතිචාර දැක්වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් කියා සිටියේ නව විෂයත් හඳුන්වා දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන කොමිසමේ අනුමැතිය ගත යුතු බවයි.

එම විෂය ධාරාව සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය දැනුවත් කර අදාළ විෂයයන් සම්බන්ධයෙන් පුහුණුවීම් ලබාදිය යුතු බව ද ඔහු කියා සිටියා.

විභාග සහ ඇගයිම් ක්‍රමවේදය ප්‍රතිසංස්කරණය කරමින් අන්තර් ජාතික ප්‍රමිතින් හා ගැළපෙන නව ශිෂ්‍ය ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද මෙවර අය - වැයෙන් යෝජනා කර තිබෙනවා.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ වෛද්‍ය යන විෂයන් ඉගැන්වීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට අය - වැයෙන් යෝජිතයි.