Friday, May 17, 2024

General line - 0115112241

ආවට ගියාට කටයුතු කරන්න බෑ.. රාජතාන්ත්‍රික සබඳතා ආරක්ෂා කරනවා - කැනඩාව කියයි (VIDEO)

වසන්ත පිවිතුරු




ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරදෙන බව පවසා බලයට පත්වු වත්මන් කැනේඩියානු ලිබරල් පාලන රජය සිය මැතිවරණ පොරොන්දු ඉටු කිරිමට අපොහොසත් වී ඇති බව එරට විපක්ෂය වන කොන්සවේටිව් පක්ෂය චෝදනා එල්ල කර තිබෙනවා.

ලිබරල් පක්ෂය බලයට පත්වී දැනට වසර 2ක් ගතවී තිබුණ ද ශ්‍රී ලංකාව අමතක කර දමා ඇති බවයි කැනේඩියානු විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඊයේ (13)  එරට පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

ව්‍යාජ බලාපොරොත්තු ලබාදී කැනඩාවේ ශ්‍රී ලාංකීක දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වූ ලිබරල් ආණ්ඩුව මෙසේ කටයුතු කිරිම සාධාරණ නොවන බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කර දීම, දේශපාලන විසඳුමක් ලබාදීම සහ උතුරේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවට සාධාරණය ඉටුකර දීම යනාදිය ලිබරල් පක්ෂයේ මැතිවරණ පොරොන්දු වූ අතර ඉන් කිසිවක් ක්‍රියාත්මක නොකිරිම කණගාටුවට කරුණක් බවයි කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රිවරුන් සඳහන් කළේ.

කුමණ හේතුවක් මත ලිබරල් ආණ්ඩුව මෙසේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව ගැටලු පැන නැගී ඇති බවත් වහාම මේ සම්බන්ධයෙන් කැනඩා රජය පිළිතුරු ලබාදිය යුතු බවත් කොන්සවේටිව් පක්ෂය ඉල්ලීමක් කළා.

නමුත් කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පිළිතුරු ලබාදීමට නොහැකිව මෙහිදී දැඩි අපහසුතාවයට පත්වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

කෙසේ නමුත් කොන්සවේටිව් පක්ෂයේ චෝදනාව තමන් තරහේ හෙළා දකින බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මාට් ඩිකවුරන්සි කියා සිටියේ. 

ජගත් ආරක්ෂක කවුසිලයේ සාමාජිකත්වය දරන රටක් වශයෙන් තමන් ශ්‍රී ලංකාව සමග රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි කියා සිටියේ.

ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරමින් ක්‍රමයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරිමට කටයුතු කරන බවත් විදේශ රටක් සම්බන්ධයෙන් තමන්ට බලපෑම් එල්ල කළ නොහැකි බවත් ඔහු කියා සිටියා.

නිරන්තරයෙන්ම කැනඩා රජය ශ්‍රී ලංකා රජය සමග අවබෝධයෙන් කටයුතු කරන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.