Monday, May 6, 2024

General line - 0115112241

"අයවැය ඇස්තමේන්තු යථාර්තවාදී නැහැ" - හිටපු ජනපති කියන දේ 

හේමන්ත කහවලගේ




මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති ඇතැම් ඇස්තමේන්තු කිසිසේත් යථාර්තවාදී නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කරන්නේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 5000ක් දක්වා වැඩිකිරීමට මෙවර අයවැයෙන් ඇස්තමේන්තු කර ඇති බවයි. 

එසේ කිරීමට නම් 2017 දී අමෙරිකානු ඩොලර් බිලියන 84.9ක් වන දළ ජාතික නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් බිලියන 106.5ක වැඩි විය යුතු බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. 

ඒ සඳහා ආර්ථීකය සියයට 25කින් වර්ධනය විය යුතු බවයි ඔහු පවසන්නේ. 

දැනට තිබෙන සියයට 4.5ක ආර්ථීක වර්ධන වේගය යටතේ එවැන්නක් සිදුකළ හැක්කේ කෙසේදැයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරනවා. 

මේ අතර ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීම නිසා ඉකුත් වසර 3දී අමෙරිකානු ඩොලර් බිලියන 5ක් ඉතිරි කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තැබූ තවත් ට්විටර් සටහනක දැක්වෙන්නේ. 

එම ඉතිරිය වගකීම් සහිතව යෙදවූයේ නම් වත්මන් ආණ්ඩුව 2015 දී බලයට පැමිණෙන විට ගෙවීමට තිබූ ණයෙන් සැළකිය යුතු කොටසක් ගෙවා අවසන් කිරීමට හැකියාව තිබුණු බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.