දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 06 දෙනෙකුට වසර 02ක බරපතල වැඩ සහිත අත්හිටවූ සිරදඬුවම් නියම වුණා.
කොළඹ මහාධිකරණය විසින් එම සිරදඬුවම අත්හිටවනු ලැබුවේ වසර 12ටයි.
දෙමටගොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට අදාළව වරද පිළිගන්නා බව විත්තිකරුවන් 8 දෙනෙකු පසුගිය යහ වැනිදා (06) අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදියි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.
කෙසේ වෙතත් මන්ත්‍රිවරිය මෙහිදී වරද පිළිනොගත්තා.
එම සිර දඬුවම වසර 12 කට අත්හිටුවීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ නියෝග කළේ.
එහිදී එක් එක් විත්තිකරුවන්ට රුපියල් 32,000 ක දඩයක් නියම කළ අධිකරණය පැහැර ගැනීමට ලක් වු පුද්ගලයාට විත්තිකරුවන් සියලු දෙනා විසින් රුපියල් 2,85,000 ක මුදලක් ගෙවිය යුතු බවට නියම කරනු ලැබුවා.
විත්තිකරුවන් අතර පාසල් සිසුවෙකු ද සිටින අතර ඔහුට දඩුවම් නොකළ අධිකරණය රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත එම සිසුවා මුදා හැරීමට නියෝග කළා.
එම සිසුවා ඉදිරි 2 වසර තුළ යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කළ යුතු බව ද අධිකරණය මෙහිදී දන්වා තිබෙනවා.
විත්තිකරුවන් 08 දෙනා අතර එක් අයෙකු රජයේ සේවකයෙකු වනවා.
ඔහුට ලිහිල් දඩුවමක් නියම කරන ලෙසට සිදුකරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා වෙත රුපියල් 75,000 ක වන්දියක් ගෙවන ලෙස එම විත්තිකරුට නියෝග කළා.
මෙම සිද්ධිය වාර්තා වුණේ 2015 වසරේ දෙසැම්බර් මස 21වන දිනයි.
පුද්ගලයෙකු පැහැර ගැනීම, පැහැර ගැනීමට අනුබල දීම, නීති විරෝධි ජන රාශියක සාමාජිකයන් වීම ඇතුළු අධි චෝදනා 7ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
වරද පිළිගත් විත්තිකරුවන් 8 දෙනා සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීම සඳහා අදාළ නඩුව එදින කල් තබනු ලැබුවා.