වෑන්රථයක ගමන්කරමින් මග දෙපස සිටින ගවයන්ගේ බෙල්ලට තොන්ඩුව දමා ගවයන් පැහැරගන්නා හොරහරක් කල්ලියක් ආරක්ෂක කැමරා දර්ශන උපයෝගි කරගනිමින් අත්අඩංගුවට ගැනීමට හල්දුම්මුල්ල පොලිසිය සමත්ව තිබෙනවා.
හල්දුම්මුල්ල ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුල ගවයන් අතුරුදන්වීම් 4ක් වාර්තා වී තිබූ අතර ඒ පිළිබඳව විමර්ශනය කරද්දී මග දෙපස ව්‍යාපාරික ස්ථානවල සවිකර ඇති (CCTV)ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරිමේදී මෙම හොරකල්ලිය ගවයන් පැහැගන්නා අයුරු පටිගත වී තිබුණේ යැයි හල්දුම්මුල්ල පොලිසිය කියා සිටියේ.
ඒ අනුව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම් පී ද සිල්වා ප්‍රම්‍රඛ පොලිස් නිලධාරින් කණ්ඩායමක් බලන්ගොඩ ප්‍රදේශයේදී අදාළ වෑන් රථය සොයාගෙන තිබෙනවා.
වැඩිදුර විමර්ශන සිදුකිරිමේදී සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වු බවත් බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් මෙම හොර හරක් ජාවාරමේ සුලමුල හෙළි කළ බවත් පොලිසිය පැවසුවා.
හල්දුම්මුල්ල බලන්ගොඩ මොණරාගල හා වැල්ලවාය ප්‍රදේශවලින් පසුගිය කාලය පුරා මෙසේ ගවයන් පැහැරගත් බව ඔවුන් අනාවරණය කළ බව පොලිසිය සඳහන් කළේ.
මෙහි ප්‍රධාන සැකකරු මෙසේ තම කණ්ඩායම යොදවා පැහැරගන්නා ගවයන් ඝාතනය කර මස් අධි ශිතකරන සවිකල ඇලුමිනිම් ආවරණයකින් යුත් ලොරි වලින් කොළඹයට ප්‍රවාහනය කරන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් පවසා තිබෙනවා.
හල්දුම්මුල්ලේදී ගවයන් පැහැරගත් වෑන් රථය ද අත්අඩංගුවට ගෙන ඇති අතර එය කුලීපදනමක් මත කොළඔ ව්‍යාපාරික ස්ථානයකින් ලබාගත් එකක් බවත් මෙම ගව සොකරම් සඳහා මේ අකාරයෙන් කුලීයට වාහන ලබාගන්නා බවත් සැකකරුවන් පවසා සිටියා.
මැදියම් රැයේ හෝ අලුයම් කාලයේ මෙම ගවයන් පැහැර ගැනීම් සිදුකරන අතර වැඩි වශයෙන් වහුපැටියන් මෙසේ පැහැරගන්නා බවත් එම මස් එලුමස් සමග මිශ්‍රකර එලුමස් බවපවසා කොළඹ ඇතැම් සංචාරක හෝටල්වලට අලෙවි කරන බවත් පොලිසිය සිදුකළ පරික්ෂණවලදී සැකකරුවන් අනාවරණය කළා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවද සඳහන්.