Sunday, January 19, 2025

General line - 0115112241

මාගම්පුර වරාය සේවකයන් සාධාරණයක් ඉල්ලයි




 

වරාය අධිකාරිය අධිකරණ වාරණ නියෝගයක් ලබාගෙන තිබුණත්, හම්බන්තොට වරායේ සේවකයින් පිරිසක් අද (01) 3 වන දිනටත් එම වරායේ ගොඩනැගිල්ලක් තුළ රැදී සිටිනවා.

ඔවුන් පැවසුවේ තමන්ට එවැනි නියෝගයක් නොලැබුණු බවයි.

පෙරේදා (29) දිනයේදී මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබූ චක්‍රලේඛයක් මගින් එහි සියළුම සේවකයින්ට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම් දුන්නා.

කෙසේ වෙතත් ඉන් අනතුරුවයි සේවකයන් මෙලෙස ගොඩනැගිල්ල තුළ රැදී සිටීමට කටයුතු කළේ.

සේවකයින් ප්‍රකාශ කළේ වරාය අධිකාරිය විසින් එහි සියලූම භාණ්ඩ ලිඛිතව පවරා ගන්නා තුරු තමන් වරාය පරිශ්‍රයෙන් ඉවත් නොවන බවයි.

අදාළ චක්‍රලේඛය වහාම අවලංගු කරන ලෙස කම්කරු, වෘත්තීය සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී .ජේ. සෙනෙවිරත්න ඊයේ (30) නියෝග කළේ එවැනි තත්ත්වයක් තුළයි.

එමෙන්ම තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු තමන් වරාය පරිශ්‍රයෙන් ඉවත්නොවන බව ද සේවකයින් පිරිසක් පවසනවා.

එම සේවකයන් කියා සිටියේ තමන් වරාය සේවට බැඳී දැනට වසර 5ක් ගත වන බවයි.

රුපියල් ලක්ෂ 3ක් වැනි සුළු වන්දියක් ලබාදී තමන්ව සේවයෙන් ඉවත් කිරිමට මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගම තීරණය කර ඇති බවයි එම් සේවකයින් පෙන්වා දෙන්නේ.

නමුත් තම සේවා කාලයේ දී විවිධ බැංකුවලින් සේවකයින් විශාල වශයෙන් ණය ලබාගෙන ඇති අතර එම ණය මුදල ආපසු ගෙවීමට හෝ ලබාදෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, වරාය සේවකයන්ගේ පවුල්වල ඥාතීන් දින 11ක සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන්නේ ද වරාය පිවිසුම් මාර්ගය අසලයි.