Sunday, January 19, 2025

General line - 0115112241

නිල්වලා සහ ගිං ගංගා ගැන ඉවසීමෙන් බලා ඉන්න (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




වර්ෂාව හේතුවෙන් ඉහළ ගිය ගංගාවල ජල මට්ටම සමස්ථයක් ලෙස ක‍්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

නමුත් එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ පේ‍්‍රමා හෙට්ටිආරච්චි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ නිල්වලා ගඟේ ජල මට්ටම සහ ගිං ගඟේ ජල මට්ටම අඩුවීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි.  දැනට විශාල ජලය ප්‍රමාණයක් මෙම ගංඟා නිම්නවල සිරවී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

වර්ෂාවත් සමග ගංගාවල ජල මට්ටම ඉදිරියේදී ද වෙනස්වීමට හැකි බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ දිස්ති‍්‍රක්ක 6 ක් තවදුරටත් නායයෑම් අවදානමේ පවතින බවයි. රත්නපුර, ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කළුතර සහ මාතර එම දිස්ති‍්‍රක්කයි. 

------------------------------------

ධීවරයින් සිව් දෙනෙකුගේ සිරුරු හමුවෙයි (UPDATE)

(02-12-2017 11:08)

ගතවූ පැය 24 ක කාලය තුළ අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන්ව සිටි ධීවරයින් සිව් දෙනෙකුගේ මෘත ශරීර සොයාගෙන තිබෙනවා.

ඒ, අම්බලන්ගොඩ සහ තෙල්වත්ත යන ප‍්‍රදේශවලින්.

තෙල්වත්ත මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී මෘත ශරීර දෙකක් සොයා ගැණුනා. එක් අයෙකු 55 හැවිරිදි වියේ සහ අනෙක් පුද්ගලයා 58 වියේ පසු වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අම්බලන්ගොඩ, ගල්කැටිය පන්සල ඉදිරිපිට මුහුදු වෙරළේ තිබී 39 හැවිරිදි ධීවරයෙකුගේ මෘත ශරීරයක් සොයා ගැණුනු බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ. අකුරළ මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී 67 හැවිරිදි අයෙකුගේ සිරුරක්ද සොයා ගැණුනා.

------------------------------------

අයහපත් කාලගුණයේ අලුත්ම තොරතුරු 

(02-12-2017 06:15)

 

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ආපදාවලින් බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාව 77,481 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් දිස්ති‍්‍රක්ක 16 ක පවුල් 23,884 කට අයත්.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර දිස්ති‍්‍රක්කයටයි. පවුල් 8,649 ක පුද්ගලයින් 33,977 කට එහිදී බලපෑම් එල්ල වී තිබෙනවා.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ බලපෑමට ලක්ව ඇති සංඛ්‍යාව 19,960 ක්. බදුල්ල, ගම්පහ, කොළඹ සහ මාතර යන දිස්ති‍්‍රක්කවලද පුද්ගලයින් 4,300 කට වැඩි පිරිසකටද බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමණාකරණ අමාත්‍යාංශය පවසන්නේ.

වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 11 ක්. පුද්ගලයින් පස් දෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා. තුවාල ලැබූ සංඛ්‍යාවද 56 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආරක්‍ෂක ස්ථාන 40 ක රඳවා සිටින සංඛ්‍යාව 4,206 ක්.

මේ අතර  ඕකී සුළි කුණාටුව තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (02) අලූයම ප‍්‍රකාශ කළා.

මේ වනවිට එය ස්ථාපිතව ඇත්තේ දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදේ දිවයිනට කිලෝමීටර් 850 ක් ඈතින්. එබැවින් දිවයින කෙරෙහි සුළිකුණාටුවේ බලපෑම ක‍්‍රමයෙන් අඩුවනු ඇති බවටයි අපේක්‍ෂා කෙරෙන්නේ. 

එහෙත් අද දිනයේද දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇදහැළෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවලද පැයට කිලෝමීටර් 80 ක් දක්වා වැඩි විය හැකි තද සුළං අපේක්‍ෂා කරන බවයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයත් සමග ගංගා 4 ක ජල මට්ටම තවදුරටත් පවතින්නේ ගංවතුර තත්ත්වයකයි.

නිල්වලා ගඟ පානදුගම ප‍්‍රදේශයෙන් ගංවතුර මට්ටමක පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ. සපුගොඩ ප‍්‍රදේශයෙන් කිරමආර ගංගාවද බද්දේගම ප‍්‍රදේශයෙන් ගිංගඟ ද, මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් කළුගඟ ද සුළු ගංවතුර මට්ටමක පවතිනවා.

මෙම තත්ත්වය ක‍්‍රමයෙන් අඩුවනු ඇති බවට අපේක්‍ෂා කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ අතර ගංවතුර තත්ත්වයකට මුහුණදීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 11 ක් ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර යන දිස්ති‍්‍රක්ක සඳහා අනියුක්ත කර තිබෙනවා. තවත් කණ්ඩායම් 50 ක් සීරුවෙන් සිිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදොරු දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ.