Sunday, January 19, 2025

General line - 0115112241

අත්අකුරු විශේෂඥයින්ගේ වාර්තාවෙන් නියෝජ්‍ය පොලිස්පති ගැන පරීක්ෂණ අලුත් දිශාවකට




රජයේ මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති එල්.පී.එස්.පී. සඳුන් ගහවත්ත සම්බන්ධයෙන් සිදුකරන පරීක්‍ෂණ අලුත් දිශාවකට යොමු වී තිබෙනවා.

ඒ, ඔහුගේ අත්සන තහවුරු කරමින් රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ අත්අකුරු විශේෂඥයින් ලබාදුන් වාර්තාවක් හේතුවෙන්. 

එල්.පී.එස්.පී. සඳුන් ගහවත්ත, පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ සමයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ තවත් ගොඩනැගිල්ලක් අලුත්වැඩියාව සඳහා ලබාගත් රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වුණේ.

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ ඊට අදාළ ලියකියවිලිවල ඇති අත්සන තමාගේ නොවන බවයි.

රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ වාර්තාවෙන් අත්සන තහවුරු කර ගැනීමත් සමග ඒ සම්බන්ධයෙන් වන තොරතුරු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. 

අදාළ මූල්‍ය වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ගණකාධිකාරිවරයෙක්, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු රක්‍ෂිත බන්ධනාගාරගතව පසුවනවා.