Sunday, January 19, 2025

General line - 0115112241

ඡන්දය තියෙන ගැසට් පත‍්‍ර අද මුද්‍රණාලයට

හේමන්ත කහවලගේ




පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදන දෙකක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය රජයේ මුද්‍රණාලය වෙත අද (02) භාරදීමට නියමිතයි.

එක් ගැසට් පත‍්‍රයකට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අත්සන් තබා ඇති අතර අනෙක් ගැසට් පත‍්‍රයට අත්සන් තබා ඇත්තේ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆායි.

සීමානීර්ණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කළ වාර්තාව හා සීමානීර්ණ සමාලෝචන කමිටුව මගින් සකස් කළ වාර්තාව ඇතුළත් කර මෙම ගැසට් නිවේදන නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී කල්පනා සඳහන් කළේ අවසන්වරට ලැබී ඇත්තේ එක් එක් ඡන්ද මධ්‍යස්ථානයට අදාළ ප‍්‍රදේශ ඇතුළත් ගැසට් පත‍්‍රය බවයි. එයද මේ දක්වා ප‍්‍රකාශයට පත් කර නොමැති බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගානී කල්පනා වැඩිදුරටත් කියාසිටියේ. 

මීට පෙර නාමයෝජනා කැඳවීම සිදු නොකළ පළාත් පාලන ආයතන 208 සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය ලබන 4 වැනිදා නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස මුලදී පැවැත්වීමට හැකිවනු ඇති.