Sunday, January 19, 2025

General line - 0115112241

විදුලිය දෙන්න ප්‍රමාදවීම ගැන ජනතාව දැනුවත් කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසක බිද වැටී ඇති විදුලි සැපයුම අද (02) දිනය තුළ යථා තත්ත්වයට පත් කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

වැසි සහ තද සුළං හේතුවෙන් බෙදා හැරීමේ ජාලයට දැඩි බලපෑම් එල්ල කළ බවයි අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන සඳහන් කළේ.

රැහැන් පද්ධතියට මෙන්ම ට‍්‍රාන්ස්ෆෝමරවලටද හානි සිදුව ඇති බව ඔහු ප‍්‍රකාශ කළා. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර හා කොළඹ යන දිස්ති‍්‍රක්කවලටයි. මීට අමතරව බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ රත්නපුර යන දිස්ති‍්‍රක්කවලටද බලපෑම් එල්ලවී තිබුණා. 

නෙත් නිවුස් ආපදා සහන සේවා සම්බන්ධීකරණ විශේෂ මෙහෙයුම් මැදිරියටද ඊයේ (01) උදෑසන සිටම විදුලි බිදවැටීම් පිළිබඳ ප‍්‍රදේශ රැසකින් ජනතාව තොරතුරු ලබාදීම සිදුකළා. ඒ අතරින් වැඩිම තොරතුරු සංඛ්‍යාවක සඳහන් වුණේ ඇතැම් ප‍්‍රදේශවලට දින 4 ක් තිස්සේ විදුලිය නොමැති බව යන්නයි.

මේ සම්බන්ධයෙන් සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධනගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ තවදුරටත් ඇද හැලෙන වර්ෂාව අලුත්වැඩියා කටයුතුවලට දැඩි බාධා සිදු කරන බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි බලය නොමැතිව පීඩාවට පත් වූ සංඛ්‍යාව ලක්‍ෂ 10 කට අධිකයි. තවත් ලක්‍ෂ 3 ක පමණ පිරිකසට තවමත් විදුලිය නොමැති බවයි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ.

නෙත් නිවුස් ආපදා සහන සේවා සම්බන්ධීකරණ විශේෂ මෙහෙයුම් මැදිරියටද ඊයේ සිට ලැබෙන සියලූ තොරතුරු නිසි ක‍්‍රමවේදයක් යටතේ අදාළ බලධාරීන්ට ලබාදිම තවදුරටත් සිදුවනවා. ඒ ඔස්සේ බොහෝ ගැටළුවලටද මේ වනවිටත් විසදුම් ලැබී අවසන්.