උතුරු පළාත් රැකියා විරහිත උපාධීධාරීන් ස්ථිර රැකියා ලබාදෙන ලෙස ඉල්ලා වවුනියාව බස් නැවතුම්පොළ ඉදිරිපිට අද (02) දා දහවල් විරෝධතාවයක නිරත වුණා.
උතුරු පළාත් රැකියා විරහිත උපාධීධාරීන් පැවසූවේ තමන් වෙත ස්ථිර රැකියා ලබාදෙන ලෙසට තමන් දින 143 ක් උපවාසයක් පැවැත්වුවද බළධාරීන් තම ගැටළුව කෙරෙහි කිසිවෙකු අවධානය යොමු නොකළ බවයි.
උතුරු පළාත තුළ රැකියා විරහිත උපාධීධාරීන් 3000 ක් පමණ සිටින බව රැකියා විරහිත උපාධීධාරින් ප්‍රකාශ කරනවා.
එමෙන්ම උතුරේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල පිරිසක් සිටියදී පිටස්තර ප්‍රදේශවල පිරිසට උතුරු පළාත තුල විවිධ අන්දමේ පත්වීම් ලබාදෙන බවත් ඒවා හුදෙක්ම දේශපාලනය පදනම් කරගෙන ලබා දෙන පත්වීම් බවත් උතුරේ රැකියා විරහිත උපාධිධාරීහු පෙන්වා දෙනවා.
තමන් මධ්‍යම රජයේ හා පළාත් සභාවේ වගකිව යුතු සියලු දෙනාගෙන් තම ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අදාළ බළධාරීන් සියළුදෙනා නිහඩ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බවද රැකියා විරහිත උපාධීධාරීන් පැවසුවා.
රැකියා විරහිතව සිටින උපාධීධාරීන් වෙනුවෙන් රැකියා ලබාදීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම කණගාටුවට කරුණක් බවද ඔවුන් කියා සිටියා.
තමන් වෙත ස්ථිර රැකියා ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන්,අගමැතිවරයාගෙන්, උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීම් කරනු ලැබුවද,අදාළ ඉල්ලීම් වෙනුවෙන් සාධාරණය ඉටු නොවු බවද රැකියා විරහිත උපාධිධාරීන් සඳහන් කළා.
රජය විසින් පළාත් පාලන මැතිවරණයට පෙර තම ගැටළුවට විසදුම් ලබාදිය යුතු බව අදාළ පිරිස ඉල්ලීම් කරනු ලැබුවා.