Thursday, May 2, 2024

General line - 0115112241

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන බොහෝ මව්පියන් තවමත් දැනුවත් නැහැ

කසුන් කැලුම්




සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ බොහෝ මව්පියන් තවමත් දැනුවත්ව නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පිරිවෙන් හෝ විශේෂ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර සියලු සිසුන්ට මෙම රක්ෂණාවරණය හිමිවන බවයි මෙහිදී පැහැදිළි කෙරුණේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මෙහෙයවීම මත සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා.

කිසියම් හේතුවක් නිසා රෝහල්ගත වීමකදී හෝ ප‍්‍රතිකාර ලබා ගැනීමේදී එහි ප‍්‍රතිලාභ ලබාගත හැකි බවද සඳහන් කෙරුණා. 

අදට යෙදී ඇති ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශය මෙම පැහැදිලි කිරීම සිදු කළා. සුරක්ෂා සිසු රක්ෂණාවරණය පිළිබඳ තවමත් දැනුවත්ව නොමැති මව්පියන් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ අදහසින් මෙම දිනය ප‍්‍රකාශයට පත් කළ බවද අධ්‍යාපන අමාත්‍යංශය මෙහිදී ප‍්‍රකාශ කළා. 

සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ සිසුවෙකුගේ බාහිර ප‍්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් 10,000ක් දක්වා ද රෝහල්ගත වීමකදි රුපියල් ලක්ෂයක් දක්වාද ප‍්‍රතිලාභ හිමිවනවා.

සිසුවෙකු මියගියහොත් ඒ වෙනුවෙන් ලැබෙන වන්දි මුදල රුපියල් ලක්ෂයක්. සිසුවෙකුගේ මව හෝ පියා මියගියහොත්  රුපියල් හැත්තෑ පන්දහසක වන්දි මුදලක් හිමි වනු ඇති. 

සිසුවෙකු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත් වුවහොත් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් හිමි වනවා. අර්ධ ආබාධිත තත්ත්වයකදී ලැබෙන වන්දි මුදල රුපියල් පනස් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වායි. 

මෙම රක්ෂණාවරණයෙන් ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා මේ වනවිට අයදුම්කර ඇති පිරිස 475 දෙනෙක් පමණ වනවා. ඔවුන්ගෙන් 200කට ආසන්න පිරිසකට පමණ දැනටමත් ප‍්‍රතිලාභ ලැබී ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේ දී තහවුරු වුණේ. 

මේ අතර අදට යෙදී ඇති ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනයේ ජාතික උත්සවය නුගේගොඩ අනුලා විද්‍යාලයේදි පැවැත්වෙනවා. මීට සමගාමීව රට පුරා සෙසු පාසල්වල ද උදෑසන 8.08ට ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දින වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. "සදා සුරකිමු - දැයේ දරුවන්" යන්න එහි තේමාව වනවා.