Friday, October 18, 2024

General line - 0115112241

2018 නව වසර උදාවෙද්දී රට පුරා පිංකම් රැසක්

ඩිල්ෂාන් මඩවල




උදා වූ 2018 නව වසර රටපුරා වැසියන් මහත් උද්යෝගයෙන් පිළිගත්තා.

2017 ට සමුදීම සහ 2018 නව වසර පිළිගැනීම වෙනුවෙන් බොහෝ ප‍්‍රදේශවල විහාරස්ථාන ආශ‍්‍රිතව ආශිර්වාද පිංකම් සිදු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.

රතිඤ්ඤා සහ වෙනත් ගිනිකෙළි දල්වමින් විවිධ උත්සව පවත්වමින් උදාවූ 2018 නව වසර පිළිගැනීමට ද රටපුරා බොහෝ පිරිස් කටයුතු කළා. 

නෙත් එෆ්. එම්. රේඩියෝව 2018 නව වසර පිළිගත්තේ හොරණ දික්හේනපුර සීලසුව අරණේ දී සිදු කෙරුණු පිංකම් මාලාවකින්. විශේෂ ආශිර්වාද ගිතෙල් පහන් පූජාවක් ද ඊට ඇතුළත් වුණා. 

මේ අතර උදා වූ 2018 නව වසර පිළිගැනීම වෙනුවෙන් මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ ද ආගමික වැඩසටහන් රැසක් සිදු කෙරෙනවා. 

 

අනුරාධපුර අටමස්ථාන ආශ‍්‍රිතව ද මේ වනවිටත් විවිධ පිංකම් සිදු කෙරෙමින් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගාල්ලේ වැසියන් ද මහත් උද්යෝගයෙන් උදා වූ 2018 නව වසර පිළිගත්තා. ඒ පිළිබඳ තොරතුරු වාර්තා කළ නෙත් නිවුස් ගාල්ල වාර්තාකරු සඳහන් කළේ ගාල්ල කොටුව පරිශයේ ගිනිකෙලි දල්වමින් අලංකාර සැමරුමක් සිදු කෙරුණු බවයි. ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථාන රැසක පිංකම් රැසක් ද සිදු කෙරෙමින් නව වසර වෙනුවෙන් රටට ආශීර්වාද ප්‍රාර්ථනා කරන බවද සඳහන් කළා.  

නව වසර උදාවේදී කොළඹ ගාලු මුවදොර පිටිය ද ජනතාවගෙන් පිරී ගොස් තිබුණා. සැණකෙළි සිරියක් ගත් එහි මල්වෙඩි සංදර්ශන ද පැවැත්වුණු බවයි නෙත් නිවුස් කොළඹ වාර්තාකරුවන් පැවසුවේ. 

මේ අතර උදා වූ නව වසර පිළිගනිමින් ලොවපුරා සෑම රටකම පාහේ ද විවිධ උත්සව පැවැත්වුණා. මල්වෙඩි සංදර්ශන එම උත්සවවල කැපී පෙනෙන අංගයක් වූ බවයි විදෙස් වාර්තා පවසන්නේ. 

ලෝක වේලා සැකැස්ම අනුව මුලින්ම 2018 වසර උදාවූයේ නවසීලන්තයටයි. එරට බොහෝ නගර විදුලි බුබුළුවලින් ආලෝකමත් කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර විචිත‍්‍රවත් මල්වෙඩි සංදර්ශන පැවැත්වුණා. මුහුදේ සිට විහිදුණු මල්වෙඩි එහිදී වඩාත් විචිත‍්‍ර වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

න්‍යෂ්ටික අත්හදාබැලීම් නිසා විවේචනයට ලක්ව සිටින උතුරු කොරියාව ද 2018 නව වසර පිළිගත්තේ මල්වෙඩි සංදර්ශනවලින්. 

හොංකොංහි ද විචිත‍්‍රවත් මල්වෙඩි සංදර්ශන පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය විශේෂ අවදානයක් යොමු කරමින් වාර්තා කර තිබුණා.