Sunday, October 20, 2024

General line - 0115112241

නව වසර උදාවේ සිදු වූ අනතුරු ගැන ජාතික රෝහල කියයි

ඩිල්ෂාන් මඩවල




නව වසර උදාවේ දී විවිධ අනතුරු හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූවන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව මෙවර වැඩි වී තිබෙනවා.

එහි හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසන්නේ මහාමාර්ගයේ සහ නිවසේ අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

කෙසේ වෙතත් හිංසන ක‍්‍රියා සහ ගිනි කෙළි අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තරමක අඩුවීමක් සිදුව ඇතැයි ද ඇය කියා සිටියා. 

විවිධ අනතුරු හේතුවෙන් ඊයේ (31) සහ පෙරේදා (30) දින දෙකේ දී කොළඹ ජාතික රෝහලට ප‍්‍රතිකාර සඳහා පැමිණ ඇති පුද්ගලයින් සංඛ්‍යාව 512 දෙනෙක්. ඔවුන්ගෙන් 194 දෙනෙකු නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. 

පුද්ගලයින් 161 දෙනෙකු තුවාල ලබා ඇත්තේ වැටීම් හේතුවෙන්. මහාමාර්ගයේ අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 117 දෙනෙක්. නිවසේ දී සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 68 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

ඊයේ සහ පෙරේදා දින දෙකේ දී සිදු වූ හිංසන ක‍්‍රියාවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති සංඛ්‍යාව 42 දෙනෙක්. ගිනි කෙළි අනතුරු නිසා නව වසර උදාවේදී පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.