Thursday, May 2, 2024

General line - 0115112241

පෝය දවසේ කෑම පාර්සල්වල 'කුකුල් මස් කොළ පාට' වෙලා (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




දුරුතු පොහෝ දිනයේ (01) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ආපනශාලාවක දහවල් ආහාර වේල සඳහා පිළියෙල කර තිබූ කෑම පාර්සල්වල ඇති කුකුල් මස් කොළ පැහැති වර්ණ ගැන්වීම නිසා ආහාර ලබා ගත් ජනතාව දැඩි අපහසුතාවයට පත්වූ පුවතක් වාර්තා වෙනවා.

බොහෝ දෙනෙකු කියා සිටියේ මැතිවරණ උණුසුම් වීමත් සමග කුකුල් මස් ව්‍යංජනයේද වර්ණය වෙනස් කළේ යැයි සැකයක් පවතින බවයි.

වසරේ පළමු දිනය මෙන්ම පොහෝ දිනය නිසා දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේද නිලධාරීන් නිවාඩු ලබාගෙන ඇති නිසා මේ බව පැමිණිලි කිරීමටද ආර්ථික මධ්‍යස්ථානය තුළ මෙම ආපන ශාලාවෙන් ආහාර මිලදී ගත් පාරිභෝගිකයන්ට නොහැකි වී තිබෙනවා.

පසුව මෙම අහාර පැකට්ටුව ද රැගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අදාළ ආහාර අලෙවි කළ ආපන ශාලාවට ගොස් එහි හිමිකරු ගෙන් මේ පිළිබඳව විමසීමක් කෙරුණා.

එහිදී ආපන ශාලා හිමිකරු කියා සිටියේ තම ආපන ශාලාවේ සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මෙය වර්ණ වෙනස්වීම සිදුව ඇති බවයි.

එනම් පලා වර්ග, බෝංචි, කරවිල, මෑ කරල් ආදී කොළ පැහැති එළවළු පිසන අවස්ථාවන්හිදී ඒවායේ පැහැය දර්ශනය වීම සඳහා කොළ පැහැති කෘතිම වර්ණ අඩංගු රසකාරකයක් මිශ්‍ර කරන බවත් කුකුල් මස් සහ කහ පැහැති ආහාර වර්ගවලට වෙනමම කෘතිම රසකාරකයක් මිශ්‍ර කරන බවයි.

මෙහිදී කොළ පැහැති ආහාරවලට යොදන කෘතිම වර්ණ අඩංගු රසකාරකය  අතපසුවීමකින් කුකුල් මස් ව්‍යංජනයට මිශ්‍ර වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ පිළිබඳව සිදු කළ වැඩි දුර විමසීමකදී ආපන ශාලාවේ හිමිකරු වැඩි දුරටත් සඳහන් කළේ  වෙළඳපොලේ අලෙවි කිරීමට ඇති කෘතිම රසකාරක සහ වර්ණකාරක ගෙනැවිත් ආහාර සඳහා යොදන බවත් ඕනෑම ආපන ශාලාවක හෝටලයක ආහාර කල් තබා ගැනීමට අලංකාර පෙනුමක් ලබාගැනීම සඳහා මෙම රසකාරක යොදන බවත් ඒවා මිනිස් සිරුරට හානියක් නොවන බවයි.