Saturday, October 19, 2024

General line - 0115112241

තැපැල් වර්ජනය අත්හරින්නැයි යළිත් ඉල්ලීමක්

හේමන්ත කහවලගේ




යෝජිත වැඩවර්ජනය අත්හරින්නැයි තැපැල් වෘත්තීය සමිතිවලින් නැවත ඉල්ලා සිටි බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ වෘත්තිය සමිති නියෝජිතයන් සමග ඊයේ (08) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළ බවයි.

කෙසේවෙතත් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ වැඩවර්ජනය අත්හැරීමට තරම් සාධනීය පිළිතුරක් තමන් වෙත තවමත් ලැබී නොමැති බවයි.

ඉල්ලීම් කිහිපයක් දිනාගැනීම සඳහා තැපැල් වෘත්තීය සමිති හෙට (10) සිට වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා. වෘත්තීය සමිති නියෝජිතයන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණේද ඒ අනුවයි.

වැඩවර්ජනය සඳහා හේතු ලෙස ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පිළිබඳ මෙම සාකච්ඡාවේදී කරුණු විමසා සිටි බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ. කෙසේවෙතත් එහිදී ඉදිරිපත් කෙරුණු ඇතැම් ඉල්ලීම් ප‍්‍රායෝගික නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

තැපැල් සේවාව සංවෘත සේවාවක් බවට පත්කිරීම, වෘත්තීය සමිතිවල එක් ඉල්ලීමක්. එහෙත් තැපැල් සේවාව දැනටමත් කි‍්‍රයාත්මක වන්නේ සංවෘත සේවාවක් ලෙස බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා. වෘත්තීය සමිතිවල තවත් ඉල්ලීමක් වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් පිළිබද විධිවිධාන සලසන 6, 2006 චක‍්‍රලේඛය අහෝසි කිරීමයි. එහෙත් එම චක‍්‍රලේඛය මේ වනවිට වසර 12 ක් පැරණි බවද එවැන්නක් අහෝසි කිරීම පහසු නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියාසිටියා. වැඩවර්ජනයට හේතුව ලෙස ඉදිරිපත් කෙරෙන තවත් ඉල්ලීමක් වන්නේ බඳවා ගැනීමේ පටිපාටියේ ඇති දෝෂ නිවැරදි කිරීමයි.