Saturday, October 19, 2024

General line - 0115112241

යාපනයේ වෙඩි තැබීම ගැන පොලිසියට අමුතු සැකයක් (UPDATE)

දිනසේන රතුගමගේ/රොමේෂ් මධුෂංක




කිලිනොච්චිය පලෙයි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ සිදු වූ බව කියන වෙඩි තැබීම පිළිබඳව මේ වන විට සැක මතුව තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ ඔහුට සිදුව ඇති තුවාල සැක උපදවන සුළු බවයි.

පලෙයි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සිවනාදමූර්ති සුරේන්ද්‍රන් නැමත්තා බෝම්බ නිශ්ක්‍රීය කරන පෞද්ගලික ආයතනයකට සම්බන්ධ පුද්ගලයකු වන අතර ඔහු ඊයේ (09) රාත්‍රියේ කිලිනොච්චිය රෝහලට ගොස් ආපසු පලෙයි පිහිටි සිය නිවසට පැමිණෙන අතරතුර කිසියම් පුද්ගලයෙකු නිවස ආසන්නයේ සිට වෙඩි තැබූ බවටයි පොලීසියට තොරතුරු වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් පොලීසිය විසින් වෙඩි තැබුවේයැයි කියන ස්ථානයේ කරන ලද පරික්ෂා කිරීම්වලින් කිසිවක් හමු වී නොමැති අතර වෙඩි වැදුනු බව කියන පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව සිදු කරන ලද සැත්කමකින් ඔහුගේ පපුව ආසන්නයේ වැදී තිබූ බයිසිකල් බෝලයක් ඉවත් කොට තිබුණා.

කෙසේවෙතත් තුවාලකරුගේ තත්ත්වය මේ වන විට බරපතල නොවන බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

තුවාලකරු බෝම්බ නිශ්ක්‍රීය අංශයක පෞද්ගලික සේවකයෙකු හේතුවෙන් කිසියම් පුපුරණද්‍රව්‍යක් පරික්ෂා කිරීමට යාමේදී සිදු වූ පිපිරීමකින් මෙම අනතුර සිදු වූවාදැයි මෙලෙස පොලිසියට සැක මතුව තිබෙනවා.

නැතිනම් පුද්ගලික ආරවුලක් මත කිසියම් පුද්ගලයෙකු බයිසිකල් බෝල දමා සාදන ලද පතොරමක් භාවිතා කරමින් වෙඩි තැබීම සිදු කළේද යන්නත් පොලිසියට සැක මතුව ඇති තවත් කරුණක්.


 

----------------------------

යාපනයේ වෙඩි තැබීමක්

(09-01-2018 06:13)

 

යාපනයේ පලෙයි පොලිස් ස්ථානයට නුදුරින් පිහිටි මාර්ගයකදී ඊයේ (08) රාත්‍රි 8.30 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරය ඔහුගේ ගෙල ප්‍රදේශයට එල්ල වී ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් ලබා ගත නොහැකි බවද වාර්තා වෙනවා.

මෙලෙස තුවාල ලැබූ පුද්ගලයා සිවනාදමූර්ති සුරේන්ද්‍රන් නැමති 37 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු උතුරේ සහන සේවා ආයතනයක කාලයක් සේවය කල පුද්ගලයෙකු බවත් දැනට හෙළි වී ඇති කරුණුයි.