Friday, October 18, 2024

General line - 0115112241

නීති වෙනස් කරමින් සහ අලුත් කරමින් බැඳුම්කර වංචාවේ වගකිවයුත්තන්ට නඩු පැවරෙන්නේ මෙහෙමයි

තරංග රුක්ෂාන් ජයසේකර




බැඳුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම කටයුතු සිදු කරනු ඇති. ඒ, අවසන් වාර්තාවේ යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු සොයා බලමින්.

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රධාන වශයෙන් කොටස් 4කට අයත්. වැඩිදුර විමර්ශනය, නීතිය කි‍්‍රයාත්මක කිරීම, නීති සංශෝධනය මෙන්ම නව නීති සකස් කිරීම සහ අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දූෂණ හෝ අපරාධ සිදු වීම වළක්වා ගැනීමට ගතයුතු වෙනත් කි‍්‍රයාමාර්ග එම කොටස් 4යි.

ඒ අනුව සිදු කර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සිදු වනු ඇති. රජයට සහ සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම හා නීතිවිරෝධී කටයුතුවල යෙදුනු අයට සිවිල් නඩු පැවරීමද සිදු කිරීමට නියමිතයි.

සිවිල් නඩු සඳහා දිගු කාලයක් ගතවන බැවින් සිවිල් නඩු විධිවිධාන පටිපාටිය සංශෝධනය කිරීමටද නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලය පැවසුවා. අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරනු ඇති. 

බැඳුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂි සහ සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු වලින් හෙලිවන වැරදි සිදු කළ පුද්ගලයින්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරනු ඇති. 

ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් විමර්ශනාත්මක ද්‍රව්‍ය හා සාක්ෂි ඍජුව සලකා බැලීමට හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමටද නිර්දේශ වී තිබෙනවා. සමාගම්වල සිදුව ඇති අපරාධ පිළිබඳ නෛතික වගකිම සලකා බැලීම ද නිර්දේශ වී ඇති තවත් කරුණක්. 

දැනට පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල මෙන්ම වෙනත් පුද්ගලයින් බැඳුම්කර ගනුදෙනුව හරහා නීතිවිරෝධීව එකතු කළ දේපළ කඩිනමින් තහනම් කිරීමටද නීතිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. රජයට සහ අර්ථසාධක අරමුදලට අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට ද කොමිසම නිර්දේශ කළ තවත් කරුණක්.  ඒ, නඩු කි‍්‍රයාමාර්ගවලදී සිදුවන ප‍්‍රමාදය සැලකිල්ලට ගනිමින්.

සේවක අර්ථසාධක අරමුදලේ ස්වාධිනත්වය ද තහවුරු කළ යුතුයි. එමගින් එහි දායක ප‍්‍රජාවගේ උපරිම සුභසිද්ධිය සඳහාම පමණක් එම අරමුදල පවත්වාගෙන යා යුතු වනවා. ඊට එහි ඉහළ කළමනාකාරීත්වය හා මහ බැංකුව අතර ඇති සම්බන්ධය ප‍්‍රතිව්‍යූවගත කිරීමටද කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. 

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාවිත කර 2008/2014 කාලසීමාවේදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් පැවැත්විමද කොමිෂමේ තවත් නිර්දේශයක්. 

කෝප් කමිටුවේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්තී‍්‍රවරුන් බැඳුම්කර විමර්ශනය සිදු කරන කාලයේදී එම සමාගමේ ප‍්‍රධානී අර්ජුන් ඇලෝසියස් සමග සන්නිවේදනය කර ඇති බව ද හෙළිවී තිබෙනවා. එම විෂමාචාර හැසිරිම් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට කථානායකවරයාගේ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

එම කමිටුවේ මන්තී‍්‍රවරුන්ට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීම කෙරෙහි කථානායකවරයාගේ අවධානය යොමු කිරීමට ද බැඳුම්කර කොමිෂමෙන් නිර්දේශ කර තිබෙනවා.