බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ ප්‍රකාශයට වඩා වෙනස් ආකාරයෙන් ප්‍රකාශයක් අද (19) එම විදුහල්පතිනිය විසින් පාපොච්චාරණය කර තිබුණා.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු අධ්‍යාපන බලධාරින් තමන්ට බලපෑම් කළ බවයි අදාළ විදුහල්පතිනිය කියා සිටියේ.
නමුත් මෙයට පෙර ඇය විසින් මාධ්‍ය වෙත පවසා තිබුණේ තමාට කිසිඳු පාර්ශ්වයක් විසින් කිසිඳු බලපෑමක් සිදුනොකළ බවයි.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් www.nethnews.lk ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායකගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ එදා එසේ ප්‍රකාශ කළ එම විදුහල්පතිනිය අද මෙසේ ප්‍රකාශ කර ඇති බවයි. හෙට දිනයේ දී ඊටත් වඩා වෙනස් ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරිමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
අදාළ විදුහල්පතිනිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් තමන් වෙත ලැබී ඇති අතර ඇයව කැඳවා ඒ සම්බන්ධයෙන් අවවාද කළ බවද ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියා.
බදුල්ල නගරයට ඇති එකම කාන්තා දෙමළ මාධ්‍ය පාසල එය වන අතර එම පාසලට ළමුන් ඇතුළත් කිරිමේ දී ක්‍රිස්තියානි දරුවන් සඳහා අදාළ විදුහල්පතිනිය ප්රමුඛ ස්ථානය ලබා දෙන බවත් ඉන් ඉස්ලාම් හා අනෙකුත් දරුවන්ට අසාධාරණයක් වන බැවින් ඒ පිළිබඳව ලැබුණු පැමිණි සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා ඇයට උපදෙස් ලබාදුන් බවද ඔහු කියා සිටියා.
එමෙන්ම තමා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතා ඇති බැවින් එම විදුහල්පතිනිය පොලිසිය වෙත ලබාදුන් ප්‍රකාශය අධිකරණය හමුවේ ප්රතික්ෂේක කරයි නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර අධිකරණය විසින් ගනු ඇති බවද කියා සිටියා.
--------------------
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාව හෙළිවෙයි..දණගස්සපු බවට විදුහල්පතිනිය කටඋත්තර දෙයි - අධ්‍යාපන බලධාරිත් තර්ජනය කරලා (19-01-2018 17:50)
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්සපු සිද්ධිය හෙළි වී තිබෙනවා.
අදාළ සිද්ධිය මුහුණදුන් විදුහල්පතිනයට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් තර්ජනය කළ බවයි එම විදුහල්පතිනිය අද (19) අධ්‍යාපන බලධාරින් හමුවේ කියා සිටියේ.
“ මට තර්ජනය කර බලපෑම් කළා. මහ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන්න එපා කියලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා. මගේ කට උත්තරය ලියලා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්“
මරණ තර්ජනවලට බියේ සැඟව සිටි බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය මෙලෙස අධ්‍යාපන බලධාරින් හමුවේ පැවසුවා.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක විසින් තර්ජනය කර බැණ වැදී දණ ගස්වා වන්දවා ගත් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අද (19) මාධ්‍යවේදීන් හමුවේ මෙම අදහස් පල කළා.
තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් මෙම විදුහල්පතිනිය සඳහන් කළේ තමාට තර්ජනය කර, බලහත්කාරයෙන් මෙම පිරිස රූපවාහිනී නාලිකාවක මාධ්‍යෙව්දියකු යැයි කියා ගන්නා ලද පුද්ගලයයෙකු ඉදිරියේ ප්‍රකාශයක්ද ලබාගත් බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මාධ්‍ය වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී ඇය විසින් ලබාදිය යුතු කට උත්තරය පවා ලියා තේරුම් කරදී ඇත්තේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු විසින්.
ඌව පළාතේ දේශපාලඥයින්ගේ නිවෙස් සහ කාර්යාල වල නිතර දැකිය හැකි මෙම නිලධාරියා තමාට සිදුකළ තර්ජන ශිෂ්ට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ නොහැකි බවද මෙම අතවරයට ලක්වූ විදුහල්පතිනය මෙහිදී පැවසුවා.
මෙම සිදුවීමට මුහුණ දුන් විදුහල්පතිනිය කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් අහන්න.
දර්ශන - නිශාන් ද සිල්වා