ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර අති සුඛෝපභෝගී දුම්රිය වවුනියාවේ ඕමන්ත දුම්රිය ස්ථානය අසලට ළඟා වන විට දුම්රිය මාර්ගයේ වාඩි වී විශාල පිරිසක් විරෝධතාවයක නිරත වුණා.
මෙම තත්ත්වය නිසා අද (20) දා එම දුම්රිය වවුනියාව ඕමන්ත දුම්රිය ස්ථානයේ පැය එකහමාරකට අධික කාලයක් නතර කර තැබීමට සිදුවු බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
ඕමන්ත හා විලාත්තිකුලම් යන ප්‍රදේශවල වැසියෝ මේ අන්දමට දුම් රිය නවතා විරෝධය දක්වන ලද්දේ ඕමන්ත දුම්රිය ස්ථානයට ආසන්නයේ ඇති ප්‍රධාන අතුරු මාර්ගයට දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් ලබා දෙන ලෙස ඉල්ලමින්.
දැනට වසර තුනක සිට ගම්වැසියෝ එම ප්‍රධාන අතුරු මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් ඉල්ලන නමුත් එවැනි ගේට්ටුවක් සවි නොකිරීම නිසා දුම්රිය අනතුරු රැසක්ම සිදුවන බව ගම්වැසියෝ කියා සිටියා.
මෙම ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබාදෙන තුරු ගම්වැසියෝ දුම්රිය මාර්ගයෙන් ඉවත් නොවන බව තදින්ම ප්‍රකාශ කරමින් විරෝධතාවයේ නිරත වීම නිසා වවුනියාව හා මන්නාරම දිසාවන් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුව විරෝධතාකරුවෝ ඔවුන්ගේ විරෝධතාවය අවසන් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
නමුත් මෙම විරෝධතාවය නිසා අධික මුදලක් ගෙවා සුඛෝපභෝගී දුම්රියෙන් යාපනය බලා යමින් සිටි මගීන් විශාල අපාහසුතාවයකට පත් වු බව ද සඳහන්.