Wednesday, January 15, 2025

General line - 0115112241

බැඳුම්කර වාර්තාවෙන් පැහැදිළිව පෙනෙන දේ එජාපය කියයි

ඩිල්ෂාන් මඩවල/තරංග රුක්ෂාන්




දැඩි ආන්දෝලනයකට තුඩුදුන් බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉකුත් දා ජනාධිපති කාර්යාලයෙන් බැඳුම්කර වාර්තාවේ ඉංග‍්‍රීසි පිටපත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබා දුන්නා. අද දිනයේ මෙලෙස එහි පිටපත් සභා ගත කරන්නේ ඊයේ (22) රැස්වූ පක්ෂ නායකයින් ගත් තීරණයකට අනුවයි.

පිටපත් සභා ගත කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විවාද කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ රැස්වී පක්ෂ නායකයින් යළි තීරණයකට එළඹීමටයි නියමිතව ඇත්තේ.

ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියේ පෙබරවාරි 10වැනිදාට පෙර බැඳුම්කර වාර්තාව පිළිබඳ දින 2ක විවාදයක් සිදු කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් වූ තිරණය මෙන්ම වාර්තාව විවාදයට ගන්නා දින පිළිබඳවද පක්ෂ නායකයින් අද අවසන් එකගතාවකට පැමිණීමට නියමිතයි. 

බැඳුම්කර වාර්තාවට අමතරව බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමේ අවසන් වාර්තාවද ඉකුත් දා පාර්ලිමේන්තුවට ලබා දුන්නා. එහි වාර්තා 34ක් ඇතුලත් වූ අතර එම වාර්තා සියල්ල ඇත්තේ සිංහල භාෂාවෙන්. 

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන මෙම වාර්තා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දරන්නේ කුමන ස්ථාවරයක්දැයි නෙත් නිවුස් විමසීමක් කළා.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ අගමැතිවරයාට බැඳුම්කර වාර්තාවෙන් කිසිඳු චෝදනාවක් එල්ල කර නොමැති බව පැහැදැළිව පෙනෙන කරුණක් බවයි. රජයක් ලෙස සිය පක්ෂයද මේ සම්බන්ධයෙන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන් කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ වැරදිකැවන්ට අනිවාර්යයයෙන්ම දඬුවම් හිමි විය යුතු බවයි.

ඒකාබද්ධ විපක්සය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණතුංග කියා සිටියේ දූෂිතයින්ට නිසි දඬුවම් ලබා දීම සඳහා තම කණ්ඩායම ඉදිරියේදීද සටන්වදින බවයි.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි.