Monday, May 6, 2024

General line - 0115112241

නුගේගොඩත් ඉන්ධන පිරවුම්හලක් සීල් තබයි - රත්මලානේ පිරවුම්හලක් ගැනත් සැක

ඩිල්ෂාන් මඩවල




නුගේගොඩ ගම්සභා හන්දිය ප‍්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට‍්‍රල් පොම්පවලට සහ භූගත පෙට‍්‍රල් ගබඩා ටැංකියට සීල් තබා තිබෙනවා.

ඒ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් විමර්ශන අංශය විසින්.

පෙට‍්‍රල්වලට භූමිතෙල් කලවම් කර අලෙවි කරන බවට පාරිභෝගිකයින්ගෙන් ලද පැමිණිලි මත ඊයේ (22) රාති‍්‍රයේ මෙම වැටලම සිදු කෙරුණා.

වැඩිදුර විමර්ශන සඳහා පෙට‍්‍රල් සාම්පල මේ වනවිට රසායනාගාර පරීක්ෂණ සඳහාද යොමු කර තිබෙනවා. 

මේ අතර ඩීසල්වලට භූමිතෙල් කලවම් කළ සිද්ධියක් පිළිබඳ රත්මලාන ප‍්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා. නෙත් නිවුස් ශ‍්‍රාවකයකු තමන් මුහුණ දුන් තත්ත්වය මෙලෙස පැහැදිලි කළා. 

"මම ගිහින් බස් එකේ ඉන්ධන ටැංකියේ ඩීසල් තියෙනවාද කියලා මූඩිය ඇරලා බැලුවා..මූඩිය ඇරපු කමන් භූමිතෙල් ගඳ තමයි මට ආවේ.. පස්සේ මම කෑන් එකක් අරන් ගිහින් ඩීසල් ලබා ගත්තා..ඒකෙන් මගේ සැකය තහවුරු වුණා."

මේ අතර කොලොන්නාවේ සිට කොළඹ ගලදාරී හෝටලය වෙත දැවි තෙල් ප‍්‍රවාහනය කරමින් සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ භාරයට ගත් බවුසරයේ තිබූ දැවි තෙල්ද තත්ත්වයෙන් බාල බව තහවුරු වී තිබෙනවා.

අතරමගදී බවුසරයට කිසියම් බාල ඉන්ධන වර්ගයක් මිශ‍්‍ර කර ඇති බවටයි සැක කෙරෙන්නේ.

නියමිත මාර්ගයේ ගමන් නොකර සැකකටයුතු ස්ථානයක මෙම බවුසරය දිගු වේලාවක් නතර කර ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. 

මේ අතර පසුගියදා නාවල ප්‍රදේශයේදීද ඉන්ධන පිරවුම්හලකට මුද්‍ර තැබීමට නිලධාරීන් කටයුතු කළා. ඒ අවිධිමත් ලෙස භූමිතෙල් නිකුත් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින්.