Monday, January 13, 2025

General line - 0115112241

අලුත හදපු කෝච්චි පාර මාස දෙකක් වැසේ!

දිනසේන රතුගමගේ




මැදවච්චිය හා තලෙයිමන්නාරම අතර දුම්රිය සේවා මාස දෙකකට අවලංගු කිරීම දැඩි අසාධාරණයක් බව මන්නාරම් දිස්ත්‍රික් පුරවැසි කමිටුව පවසනවා. මේ සම්බන්ධයෙන් එම කමිටුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි අප වාර්තාකරු පවසනවා.

මැදවච්චිය හා තලෙයිමන්නාරම අතර දුම්රිය මාර්ගයේ පිහිටි පාලම් තුනක් හා බෝක්කු දෙකක අළුත්වැඩියා කිරීමට ඇති බැවින් පෙබරවාරි මස 01 දා සිට මාර්තු මස 31 දක්වා මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවන අවලංගු කිරීමට දුම් රිය දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙනවා.

මන්නාරම් දිස්ත්‍රික් පුරවැසි කමිටුව පෙන්වා දෙන්නේ මාස දෙකක කාලයක් මන්නාරමට දුම්රිය ධාවනය නොවීම නිසා මන්නාරමේ වැසියන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවන බවය. පෙබරවාරි මාසයේදී මන්නාරමේ මඩු දේවස්ථානයේ සුළු මංගල්ලයට දකුණේ සිට විශාල පිරිසක් පැමිණෙන්නේ දුම්රියෙන් නිසා ඔවුන්ට විශාල අපහසුතාවයකට මුහුණ දීමට සිදුවන බවද ඔවුන් පෙන්වා දෙනවා. 

මන්නාරම දුම්රිය මාර්ගය ඉන්දියාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට වසර තුනක් ගතවීමටත් පෙර විශාල අළුත්වැඩියාවක් නොමැති නිසා පාලම් අළුත්වැඩියා කරන අතර  දුම්රිය ධාවන කටයුතුද පවත්වාගෙන යන අතරතුර එම අලුත්වැඩියාවන් කරන ලෙස මන්නාරම් දිස්ත්‍රික් පුරවැසි කමිටුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන් ඉල්ලා තිබෙනවා.