බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් විවාද කිරීමට ලබන 8 වනදා පාර්ලිමේන්තුව නැවත කැඳවන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
අග්රාමාත්යවරයා ඒ බව පැවසුවේ දෙණියායේ අද (27) පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක රැළියකදියි.
බැඳුම්කර වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේදී කෙරෙන විවාදයකින් තමන්ට හෝ එක්සත් ජාතික පක්ෂයට බලපෑමක් ඇති නොකරන බවද අග්රාමාත්යවරයා කියා සිටියා.
ඒ නිසා එම විවාදයට තමන් හෝ එක්සත් ජාතික පක්ෂය බිය නොවන බවයි ඔහු අවධාරණය කළේ.
බැඳුම්කර වාර්තාවෙන් චෝදනාවට ලක්වූවන් පිළිබඳව මෙන්ම බරපතල වංචා විමර්ශන වාර්තාවෙන් චෝදනාවට ලක්ව සිටින්නන් සම්බන්ධයෙන් ද වහාම පියවර ගත යුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසුවා.
ඒ සඳහා වූ වගකීමක් චෝදනාවට ලක්ව සිටින්නන් නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ද තිඛෙන බවයි ඔහු සිහිපත් කළේ.
මේ අතර, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මීට පෙර කියා සිටියේ හැකිනම් බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තා මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නැයි අභියෝග කරන බවයි.
මෙම වාර්තා විවාදයට ගැනීම මැතිවරණය අවසන් වන තෙක් කල් දැමුයේ දූෂිත ප්රභූන්ගේ සන්ධානයක් බවද ජනාධිපතිවරවයා පැවසුවා.
මීට ප්රතිචාර දක්වමින් ඒකාබද්ධ විපක්ෂය පසුව කියා සිටියේ අදාළ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදයකටෙ තමන් ඕනෑම විටෙක සූදානම් බවයි.
ඊටත් පසු අවස්ථාවකදී මෙම වාර්තාව පිළිබඳ විවාද කිරීමට පාර්ලිමේන්තුව මැතිවරණයට පෙර කැඳවන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.