Monday, January 13, 2025

General line - 0115112241

" අයිස් " අරන් ආ තරුණියක් පොලිස් දැලේ

කටුනායක ටී.කේ.ජී.කපිල




රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් යන රසායන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන , භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 21 හැවිරිදි නයිජීරියානු ජාතික තරුණියක් කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම මත්ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ තරුණයන් හදුන්වන්නේ " අයිස් " යන අන්වර්ථ නාමයෙන් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පැවසුවා.

 

මෙම නයිජීරියානු තරුණිය අද (27) දින දහවල් 1.40 ට පමණ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 348 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

 

ඇය රැගෙන ආ ගමන් බෑගයේ කිලෝ ග්රෑම් 2 යි ග්රෑම් 28 ක් බර මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තා.

 

මේ වනවිට මෙම තරුණිය අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියා සිටියේ.