Monday, January 13, 2025

General line - 0115112241

පා සටහන් සොයා ගිය පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රතිඵල කියයි




ශ‍්‍රී පාද රක්ෂිතයේ තිබී සොයාගත් පා සටහන්වල ඉතිහාසය පිළිබඳ කිසිඳු පුරාවිද්‍යා සාධකයක් සොයාගැනීමට නොහැකි වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ ස්ථානය පිළිබඳව කළ නිරීක්ෂණ වාර්තාව මේ වනවිට තමන් වෙත ලැබී ඇති බවයි.

අදාළ ස්ථානයේ නිරීක්ෂණ කටයුතු සිදුකළ නිලධාරීන්ගේ නිගමනය වී ඇත්තේ මෙවැනි සළකුණු එම ගල්තලාවේ සෑම තැනකම දක්නට ලැබෙන බවත් මෙම සළකුණු දෙකේ විශේෂත්වය එම සලකුණු දෙක ආසන්නව පිහිටීම බවත් පෙන්වා දී තිබෙනවා. කෙසේවෙතත් මෙම ස්ථානය අවට කිසිඳු අයුරකින් පුරාවිද්‍යා සාධක දකින්නට නොලැබෙන බවත් සඳහන් කර තිබෙනවා. 

ඒ අනුව අදාළ පා සටහන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ. 

හැටන් ගාඞ්මෝර් පොප්මෝර් වතුයායේ තිබී ඉකුත්දා අදාළ පා සටහන් දැක තිබුණේ වතුකම්කරුවෙකු විසින්. අනතුරුව මස්කෙළිය පොලිසියට ඒ පිළිබඳ දැනුම්දීමෙන් පසු පරීක්ෂණ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පිටත් කර හැරුණා.