Monday, May 6, 2024

General line - 0115112241

ජිනිවාහිදී ශ්‍රී ලංකාවට හිමි වූ සභාපති ධුරය

වසන්ත පිවිතුරු




වසර 11 කට පසු ජිනීවාහි නිරායුධකරන සමුළුවෙහි 2018 වසරෙහි පළමු සභාපතිධූරයට ශ‍්‍රී ලංකාවට හිමි වුණා.

අවසානවරට ශ‍්‍රී ලංකාව නිරායුධකරන සමුළුවෙහි සභාපතීත්වයට පත්වූය 2007 වසරෙහිදීයි.

මෙම තනතුරෙහි කටයුතු ආරම්භ කරමින් සභාව ඇමතූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය-නියෝජිත තානාපති රවිනාථ ආර්යසිංහ පැවසුවේ ශ‍්‍රී ලංකාව මෙම සමුළුවෙහි සභාපතීත්වයට පත්වන්නේ ඉතාමත් තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක බවයි.

මෙම අභියෝග අතර වර්තමාන ලෝකයේ පවත්නා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංකීර්ණ පරිසරය, ත‍්‍රස්තවාදීන් ඇතුඵව රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීන් විසින් ලෝක සාමයට එල්ල කරන්නාවූ අභියෝග මෙන්ම සීතල යුද සමයෙන් පසුව ඇතිව ඇති වඩාත්ම න්‍යෂ්ටික ආයුධ තර්ජනය ආදිය ඉතා වැදගත් බව ඔහු පැහැදිළි කළා.

මෙම අභියෝග හේතුවෙන්ම නිරායුධකරන සමුළුවට ඉතාමත් වැදගත් ක‍්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකිරීමට පැහැදිළි අවස්ථාවක් උදාවී ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

එසේම සියල්ලන් හට ආරක්ෂාව උදාකරගැනීමේ පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම සමුළුවෙහි ඇති විභවයන් යෙදෙවීම වෙනුවට ජාත්‍යන්තරතලයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් අනුව මෙම සමුළුවේ මූලික කාර්යයන් තීරණය කිරීමේ පෙළෙඹවීම්වලට හසු නොවන ලෙසද හෙතෙම මෙම සමුළුවේ සාමාජික රටවල්වලින් ඉල්ලා සිටියා.

මෙම සමාරම්භක සැසියේදී සභාව ඇමතූ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණය සම්බන්ධ ප‍්‍රධාන නියෝජිත ඉසුමි නකමට්සු වර්තමාන ගෝලීය අභියෝග හමුවේ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ වැඩසටහනෙහි අරමුණු සහ එය හරහා සිදුකළ හැකි කාර්යභාරය යළි විමසා බැලිය යුතු කාලය උදාවී ඇති බව පැවසුවා.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා නිරායුධකරණ සමුළුව සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඇය මෙහිදී අවධාරණය කළා.