Monday, January 13, 2025

General line - 0115112241

පොට්ටු අම්මාන් සහ ප්‍රභාකරන් තමන්ට හොරෙන් දාපු ඩීල් එකක් කරුණා අම්මාන් හෙළි කරයි

වසන්ත පිවිතුරු




තමන් දේශද්‍රෝහියෙකු ලෙස පවසන දෙමළ ජාතික සන්ධානය තුල දේශද්‍රෝහින් සිටින බවට  ඔවුන් පිළිනොගන්නා බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායග මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

දෙමළ ජාතික සන්ධානය මුදලට මහ ඇමති ධුරයත් විකුණා දමා ඇති බවයි ඔහු කියා සිටියේ.

මඩකලපුව ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

තමන් එදා ප්‍රභාකරන්ගෙන් ඈත්වී යුද්ධයට විරුද්ධ වීම නිසා අද මෙරටේ ජනතාව නිදහස බුක්ති විඳින බවත් තමන් හිටපු ජනාධිපතිවරයාට සහාය දීමෙන් රටට සෙතක් සැළසු බවත් කිසිම අවස්ථාවක රටට ද්‍රෝහි නොවු බවත් කියා සිටියා.

තමා එම කැපකිරිම කළේ යුද්ධයට බියෙන් හෝ ප්‍රභාකරන්ට බියෙන් නොවන බවත් යුද්ධයෙන් රටක් ජයගත නොහැකි බව තේරුම් ගත් නිසා බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

තමන් ද දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියා කළ බවත් එහිදී විදේශ බලවේග තම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හැඳින් වූ බවත් කරුණා අම්මාන් කියා සිටියා.

හුදෙක් විමුක්තිය වෙනුවෙන් බිහි වූ එල්ටීටීඊ සංවිධානය පසුව ත්‍රස්ත සංවිධානයක් ලෙස පරිවර්තනය වීමට එය හේතුවක් වූ බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් අනතුරුව ප්‍රභාකරන් අහිංසක ජනතාව ඝාතනය කිරිමට කටයුතු කළ බවයි.

එමෙන්ම තමන්ට හොරෙන් ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් විසින් මෙහෙයවූ සැළසුමකට අනුව ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය කළේ එල්ටීටීඊ සංවිධානය බවද කරුණා අම්මාන් පැවසුවා.

එය සනාථ වීමත් සමග ඉන්දියාවේ එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බවට පත්වුණා.

ඉන්දියාවයි එල්ටීටීඊ සංවිධානය තහනම් කළ පළමු රට බවත් ඉන් අනතුරුව රටවල් 26 ක් එල්ටීටීඊ සංවිධානය තහනම් කළ බවත්  ඔහු සඳහා කළා.

කෙසේ වෙතත් රජිව් ගාන්ධිගේ ඝාතනයට ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් සම්බන්ධ බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා පළ කර තිබු අතර එම ඝාතනයට කරුණා අම්මාන් ද සම්බන්ධ බවට සැකයක් ඇති බව වාර්තා කර තිබුණා.