Tuesday, May 14, 2024

General line - 0115112241

කොටි රුවක් සහිතව පාසල් ක්‍රීඩා උත්සවය හැඩ ගැන්වු නිවාස කුටියක් (PHOTOS)

වසන්ත පිවිතුරු




දිවයින පුරා පාසල්වල නිවාසන්තර ක්‍රීඩා උත්සව මේ දිනවල පැවැත්වෙන බව අප කවුරුත් දන්නා කරුණක්.ඒ අනුව පසුගියදා මුලතිව් චෙම්මලේ මහ විද්‍යාල පාසල් නිවාසන්තර ක්‍රීඩා උත්සවය ද පැවැත්වුණා.

මෙම පාසලේ දෙමළ රජවරුන්ගේ නම් නියෝජනය වන නිවාස තුනක් ඇති අතර අදාළ නිවාස සඳහා කුටි නිර්මාණය වෙනුවෙන් තරගයක් ද සංවිධානය කර තිබුණා. මෙහිදී එක් නිවසක් සිය නිවාස කුටි නිර්මාණය සඳහා යොදාගෙන තිබුණේ කොටියෙකුගේ හිසක්.

අන්දමින් වූ කොටියෙකුගේ හිසක් පාසල් ක්‍රීඩා තරගයකදී නිවාසයක් ලෙස නිර්මාණය කිරිම සම්බන්ධයෙන් විවිධ පිරිස් විවිධ මත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් අදාළ නිර්මාණය තරගයේ ජයග්‍රහණය කර ඇති අතර ඒ සඳහා හිමි වන සම්පූර්ණ ලකුණු ද හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම නිර්මාණය සඳහා ස්වභාවික ද්‍රව්‍ය පමණක් යොදා ගැනීමට සිසුන් මෙහිදී සමත් වුණා.සිසුන්ගේ නිර්මාණය අගය කළ යුතුව ඇතත් එහිදී මෙරට අනාගතයට යම් බලපෑමක් එල්ලවීමේ අවදානමක් ද ඇති බවයි ඇතැමුන් පෙන්වා දෙන්නේ.

කෙසේ වූවත් උතුරු පළාතේ මුලතීව් යනු මෙරට  යුද ඉතිහාසයේ වැදගත් ස්ථානයක්.ඒ වසර 30ට වැඩි කාලයක් මෙරට වෙලාගෙන සිටි එල්ටීටීඊ සංවිධානය අවසානය සනිටුහන් වුණේ ද මුලතිව් දිස්ත්‍රික්කයේ වෙල්ලමුල්ලිවයිකාල් - නන්දිකඩාල් කළපුව අභියසයි.

එවැනි පසුබිමක් ඇති ප්‍රදේශයක අනාගතය භාර ගැනීමට නියමිත සිසු පරපුර කොටි රුවක් සහිතව මෙලෙස නිර්මාණයක් කිරිමෙන් ඔවුන්ගේ සිත්තුළ යළි යුද මානසිකත්වය හෝ එල්ටීටීඊ සංවිධානය මතකයන් දළුලන්නට ඉඩ ඇති බවද සඳහන්.

සංහිඳියාව යැයි පවසමින් රට අනාගතය ආපස්සට ගමන් කළේ එම සංහිඳියාවේ ඇති ඵලක් නොමැති බව පෙන්වා දෙන ඔවුන් එල්ටීටීඊය අමතක කර එක්සත් රටක් වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි අදාළ සිද්ධිය හෙළා දකිමින් ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ.

කෙසේ  වෙතත් මෙය සිතා මතා සිදු කළේ ද යන්න පිළිබඳව බුද්ධි අංශය විසින් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

සාමාන්‍යයෙන් නිවාස නිර්මාණය කිරිමේ දී ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා සහ ගුරුවරුන් දැනුවත් කළ යුතු අතර ඔවුන්ගේ අනුදැනුම මතයි සිසුන් නිර්මාණ කටයුතු සිදුකරනු ලබන්නේ.

අදාළ විදුහලේ විදුහල්පතිවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරිමට නියමිත බවද සඳහන්.