යාපනය මණිපායි ප්‍රදේශයේදී මැතිවරණ අත්පත්‍රිකා බෙදමිනි සිටි දෙදෙනෙකු අද (10) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවට මණිපායි පොලීසිය කියා සිටියා.
මණිපායිහි ඡන්ද මධ්‍යස්ථානයක් අසලදී අදාල සැකකරුවන් දෙදෙනා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අත්පත්‍රිකා කිහිපයක් බෙදමින් සිටියදී මුර සේවයෙහි යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් බවට හඳුනාගෙන ඇති අතර සැකකරුවන් ඉදිරි නිතිමය කටයුතු සඳහා යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දී සලකුණු කළ ඡන්ද පත්‍රිකාව සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.
අද (10) උදෑසන එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදීයි.
සැකකරු ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අවස්ථාවේ එම ඡන්ද මධ්‍යස්ථානය භාරව කටයුතු කරන ස්ථානාධිපතිවරයා විසින් සැකකරු හා ජංගම දුරකථනය පොලිසියට භාරදුන් බවයි අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා nethnews.lk කළ විමසීමක දී කියා සිටියේ.
අවුරුදු 23 ක් වන සැකකරු මොරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද ඔහු සඳහන් කළා.
ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ලබන 14 වනදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වන ලෙසටයි එම සැකකරුට දැනුම් දී ඇත්තේ.
මේ අතර මහනුවර ගලගෙදර පුජාපිටිය ප්‍රදේශයේ අවුරුදු 29 ක් වන තරුණයෙකු ද තමන් විසින් සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
අද (10) උදෑසන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පුජාපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදීයි.
කොස්කොටේ බටුගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අද ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මේ අතර පුත්තලම ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේදී ඡන්ද දායකයන්ට සිසිල් බීම ඛෙදා දෙමින් සිටි අයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර ඡන්ද දායකයන්ට ව්‍යාජ වවුචර් පත් ඛෙදමින් සිටි දේශපාලන පක්ෂයක ආධාරකරුවෙකු අම්බලන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 5,000 ක වටිනාකමක් සටහන් කර අදාළ ව්‍යාජ වවුචර් පත් මුද්‍රණය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.