Saturday, January 11, 2025

General line - 0115112241

ඡන්ද ප්‍රකාශය අවසන්.. ඡන්ද ගණන් කිරීමට කටයුතු සූදානම් කෙරේ




පළාත් පාලන ඡන්ද ප්‍රකාශ කිරීම අද (10) පස්වරු 4.00ට අවසන් වුණා. ඒ අනුව අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරිමට නියමිතයි. ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමෙන් අනතුරුව ගණන් කිරිමේ කටයුතු සිදුකිරිමට නියමිත බවද සඳහන්.

පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද (10) උදෑසන 7.00ට ආරම්භ කෙරුණා.

තැපැල් ඡන්ද ගණන් කිරිමේ කටයුතු අද සවස 3.00 පමණ ආරම්භ කිරීමට නියමිත බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50කට වැඩි අගයක් ගත් බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සුනිල් කන්නන්ගර සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (10) දහවල් 3 වනවිට සියයට 73 ක ප්‍රතිශතයක් ගෙන තිබුණා.

එමෙන්ම කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලද ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 70 ක අගයක් ගත්තා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (10) පස්වරු 3 වනවිට සියයට 69 ක අගයක් ගෙන තිබු බවයි එහි තේරීම්භාර නිලධාරි සඳහන් කළේ.

මේ අතර මහනුවර, සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 65 ත් 70 ත් අතර අගයක් ගත් බවයි එම දිස්ත්‍රික් ලේකම්වරුන් කියා සිටියේ.

මොණරගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75 ඉක්මවා ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා  කියා සිටියේ.

එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 65ක් ඉක්මවා ඡන්දය ප්‍රකාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද (10) පස්වරු එක වනවිටත් යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 47 ක අගයක පැවති බවයි යාපනය දිස්ත්‍රීක් තේරීම්භාර නිලධාරිවරයා කියා සිටියේ.