ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නැහැ. කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් 5 වනදා නොතීසි නිකුත් කළේ ඊයේ (15) දිනය වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසයි. එහෙත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ සිංගප්පූරුවේ සිටින ඔහු මෙතෙක් දිවයිනට පැමිණ නොමැති බවයි.
අර්ජුන් මහේන්ද්‍රන් නොමැති වුවද ඒකපාර්ශවිකව නඩුව විභාග කළ හැකි බවත්, ඉන් ලැබෙන තීන්දුව අනුව කිසියම් වන්දියක් අයකර ගැනීමට තීරණය වුවහොත් ඒ සඳහා ද පහසුකම් ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා පවසනවා.
ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කෙරුණු පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.
ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ අර්ජුන් මහේන්ද්‍රන් කෙසේ හෝ මෙරටට රැගෙන එන බවයි.