Sunday, September 8, 2024

General line - 0115112241

රාජපක්ෂ කල්ලිය කුමන්ත්‍රණයක! පොහොට්ටුව සැබෑ විපක්ෂය ලෙස පිළිගත යුතුයි




රටට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයක් බව ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඉන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට සියලු දෙනාම නිහතමානි විය යුතු බවයි. අලුත් පක්ෂයක් ලෙස මැතිවරණයට තරඟ කළ ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යනු පැරණි එක්සත් ජනතා නිදහස් සන්ධානයම වන බව හෙළ උරුමය සිය නිවේදනයෙන් පවසා තිබෙනවා.

එහි වැඩිදුරටත් පවසා ඇත්තේ 2015 මහ මැතිවරණයේදී  එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාවම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ලබාගෙන ඇති බවයි. එමෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අත හා බුලත් කොළය යටතේ තරඟ කළ සැබෑ නව දේශපාලන බලවේගයට ඡන්දය ලබාදුන් පහලොස් ලක්ෂයකට අධික ජනතාවට හෙළ උරුමයේ උත්තමාචාරය පිරිනමන බවද හෙළ උරුමය සිය නිවේදනයෙන් පවසා ඇත.

මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ නව බලවේගය එක්සත් ජාතික පාක්ෂිකයින් සමග බල අරගලයකට යොමු කර බොරදියේ මාළු බා ගැනීමට රාජපක්ෂ කල්ලිය කුමන්ත්‍රණයක නිරතව සිටින බවද හෙළ උරුමය පෙන්වා දෙයි. රටට දැන් අවශ්‍යව ඇත්තේ ජනතාවගේ ප්‍රතිචාරය නිහතමානීව බාරගනිමින් ගොඩනැගෙන එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරයාගේ නැවුම් බලවේගය අතර ජාතික සන්ධානයක් බවද එම නිවේදනයේ සඳහන් වනවා.