Tuesday, January 7, 2025

General line - 0115112241

ඉරණවිල දරුවා ඝාතනය කළ කාමාතුරයා කොටු වෙයි (UPDATE)

ජූඩ් සමන්ත




ඉරණවිලදී සුසිත් නිර්මාල් නැමැති වයස අවුරුදු 10ක් වූ සිසුවා ඝාතනය කර පළා ගොස් සිටි සැකකරුව නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත බාර දී තිබෙනවා.

අද (04) අළුයම මෙම සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගැණුනා.

පසුගිය 25 වැනිදා සුසිත් නිර්මාල් සිසුවාව පැහැර ගෙන ගොස් ලිංගික අතවර සිදු කර ඝාතනය කර තිබුණා. ඉරණවිල ප්‍රදේශයේ කැලෑවක තිබී ඝාතනය කර ඇති දරුවාගේ සිරුර 27 වැනිදා පෙරවරුවේ ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයා ගැණුනා.

ඉරණවිල ගමට පොල් කැඩීම සඳහා නිතර යන එන බව කියන සැකකරුගේ ස්ථීර පදිංචියක් පිළිබදව තොරතුරක් ලැබී තිබුණේ නැහැ.
නමුත් 27 වැනිදා සවස සැකකරු හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවත්, ඔහු මා දැල් වාඩිවල සේවය කර ඇති අයෙකු බවටද පොලීසියට තොරතුරු ලැබී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සහ ඡායාරූප පොලීසිය විසින් නාවුක හමුදාව වෙතද ලබා දී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සහාය ඉල්ලා තිබුණේ ඒ අනුවයි.

ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති නාවුක හමුදාව සැකකරුව අත්අඩංගුවට ගත්තා. 

-------------------------------------

ඉරණවිල දරුවාගේ ඝාතනය ගැන කරුණු රැසක් හෙළි (PHOTO)

(28-02-2018 15:43)

හලාවත - ඉරණවිල සමිඳුගම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටියදී සිරුර හමුවු කුඩා දරුවා ඝාතනයට පෙර ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

එම දරුවාගේ හිසට සිදුවු බරපතල හානි හේතුවෙන් මරණය සිදුව ඇති බවටයි හෙළිවී ඇත්තේ.

හලාවත මහ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් අද (28) දහවල් දරුවාගේ මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.

මේ අතර සමිඳුගම අක්කර 40 ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කුඩා දරුවා ඝාතනය කළ සැකකරු මීට පෙර ද කුඩා දරුවෙකු ඝාතනය කර ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ පොලිසිය ලබාදුන් තොරතුරුවලට අනුව 2003 වසරේ දී හලාවතදී එම ඝාතනය සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද සඳහන්.

පසුගිය 25 වනදා නිවසින් අතුරුදන්ව සිටි සමිඳුගම ප්‍රදේශයේ 10 හැවිරිදි දරුවාගේ සිරුර ඊයේ  (28) පෙරවරුවේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලිසියට හමුවුනා.

එදින පවුලේ සාමාජිකයන් දේව මෙහෙයකට ගොස් ඇති අතර එහිදී මෙම දරුවා පමණක් නිවසේ සිටි බව සඳහන්.

අනතුරුව ඔහු නිවෙස ආසන්නයේ ඇති වෙළඳසැලකට ගොස් ඇතැයි වාර්තා වනවා.

එහිදී මෙම ඝාතකයා හමුවී ඇතැයි විමර්ශණවලදී අනාවරණ වී ඇති අතර වෙළඳසැලේ තිබු කැමරා පද්ධතියට අනුවයි කරුණු හෙළිවී ඇත්තේ.

ඝාතනයට ලක්වු දරුවා සමග තවත් දරුවෙක් සිට ඇති අතර සැකකරු ගිරා පැටවුන් අල්ලා දෙන බවට පවසා වනයට යාමට ඇරයුම් කර තිබෙනවා.

අනෙක් දරුවා ඊට අකමැති වී ඇත්තේ ඝාතකයා සතුව තියුණු ආයුධයක් තිබීම දැක ඇති බව සඳහන්.

පසුව සැකකරු සමග කුඩා දරුවා වනය දෙසට ගමන් කරන ආකාරය කිහිප දෙදෙනෙකුම දැක ඇතත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමුකර නැත්තේ විවිධ පිරිස් දර කැඩීමට කැලෑවට යාම හේතුවෙන්.

 

දේව මෙහෙයට සහභාගී වී නිවසට පැමිණි දෙමව්පියන් දරුවා නොමැතිවීම පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් 26 වැනිදා දිනය පුරා සමිඳුගම අවට ප්‍රදේශයේ සොයා බැලුව ද දරුවා හමු නොවු අතර ඊයේ (27) පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ මෙහෙයුමකදීයි දරුවාගේ සිරුර සොයා ගැනුනේ.

අදරුවාගේ ඝාතකයා ඉරණවිල ප්‍රදේශයට පොල් කැඩීම සඳහා පැමිණෙන අයෙක් වන අතර ඔහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවුවෙක් බවට ද හෙළිවී ඇතැයි සඳහන්.

---------------------------

දරුවාගේ නිරුවත් මළසිරුර කැළෑවෙන් හමුවෙයි - රැගෙන ගිය අයුරු ආරක්ෂිත කැමරාවක පටිගත වෙලා (27-02-2018 09:43)

වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් හලාවතින් වාර්තා වෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත - ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි සුධීර නිර්මාල් නැමැති  පාසල් සිසුවෙක්.

පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණා. කිසියම් අයෙකු දරුවාව කැඳවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.

ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී අද (27)  පෙරවරුවේ හමුවී තිබෙනවා. දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පෙන්වා දෙනවා.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.