Tuesday, January 7, 2025

General line - 0115112241

අසත්‍ය ප්‍රචාරයක් ගැන ඇමති මංගලගෙන් පැහැදිලි කිරිමක්




අතුරුදන්වූවන්ගේ කාර්යාලය රණවිරුවන් දඩයම් කර ඔවුන්ට නීතිය මගින් කටයුතු කිරිමේ අරමුණින් පිහිටුවා ඇතැයි පැතිර යන ප‍්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ප‍්‍රචණ්ඩත්වය ඇති කළ වරදකරුවන්ට එරෙහි චෝදනා ගොනු කිරීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලයට හැකියාවක් නොමැති බවයි.

විමර්ශන ආයතනයක භූමිකාව  හැර එම කාර්යාලය උසාවියක් බදු නීතිය පසිඳලීමේ හෝ අධිකරණ ආයතනයක් නොවෙයි. අතුරුදන්වූවන්ගේ කාර්යාලය සොයා ගන්නා කරුණු කිසිඳු අපරාධ හෝ සිවිල් අධිකරණ කි‍්‍රයාවලකට ඉඩ ලබා නොදෙන බව ඊට අදාළ නීතියේම පැහැදිළිව දක්වා තිබෙනවා.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය එක් ප‍්‍රජාවකට පමණක් ප‍්‍රතිලාභ ගෙන දී තවත් ප‍්‍රජාවකට තර්ජනය කිරීම අරමුණු කර නොමැත. එය හුදෙක් සත්‍ය සෙවිමේ කි‍්‍රයාදාමයක් පමණයි. එහි අරමුණ අතුරුදන්වූ ලෙස හඳුනාගත් පිරිස් හෝ ගැටුම් පැවැති කාලය තුළ අතුරුදන්වූ පිරිස් පිළිබඳ පරීක්ෂණ කර සත්‍ය සෙවීම බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අතුරුදන්වූවන් සඳහා පිහිටුවා ඇති කාර්යාලයට ලැබී ඇති වරය නම් සියලූ වර්ග සහ ආගම් සීමා මායිම් නොතකා කටයුතු කිරිමයි. උතුරු නැගෙනහිර පැවැති ගැටුම් කාලය තුළ හා ඉන් පසුව අතුරුදන්වූවන් පිළීබඳ විමර්ශනය කිරීමට මෙම කාර්යාලය මගින් බලාපොරොත්තු වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.