Thursday, December 26, 2024

General line - 0115112241

රට තුළ සාමය තහවුරුයි - ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි




රට තුළ සාමකාමී වාතාවරණයක් තහවුරු කර තිබෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන් හමුවේ අවධාරණය කර තිබෙනවා. ඒ, රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කැඳවා තිබූ විශේෂ හමුවකදීයි.  පසුගිය දින කිහිපයේ

රටේ ඇතැම් ප‍්‍රදේශවල පැවැති කලහකාරී තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. මහනුවර දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශවල පැවැති කලහකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට මුල්වූ සහ කි‍්‍රයාත්මක වූ පිරිස් අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම් දීමට කටයුතු කරන ලෙසට තමා පොලීසිය ඇතුළු අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

පසුගිය වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර පැවැත්වෙන මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී රට තුළ විවිධ කලහකාරී සිදුවීම් ඇති කිරීමට විවිධ කණ්ඩායම් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. 
 

පසුගිය වසර 3 පුරා රට තුළ සාමය සහ සහජීවනය ගොඩනැගීම වෙනුවෙන් රජය උපරිම කැපවීමෙන් කටයුතු කළ බවත් ඉදිරියේදීද ඒ සඳහා උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා මෙම හමුවේදී අවධාරණය කළා. මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිපදෙනෙක්ද එක්ව සිටියා.