Thursday, December 26, 2024

General line - 0115112241

ජනාධිපති ඉන්දීය හා ජපන් සංචාරය සඳහා පිටත්ව යයි

කටුනායක ටී.කේ.ජී.කපිල




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) උදෑසන ඉන්දීයානු සහ ජපාන් සංචාරයන් සඳහා දිවයිනෙන් බැහැර ගියා. කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

මෙම සංචාරය සදහා ජනපති සමග දූත පිරිස 09 දෙනෙක් එක්ව සිටියා. ඔවුන් ඉන්දීය ගුවන් සේවයේ A.I - 282 දරන ගුවන් යානයෙන් උදෑසන 8.40 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.

ඉන්දිය සංචාරය නිමවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිතය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර අද පැවැත්වෙන අන්තර් ජාතික සූර්ය බලශක්ති එකමුතුවේ පළමු ජාත්‍යන්තර සමුළුවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද සහභාගිවීමට නියමිතයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම සංචාරයට එක්වනවා. සමුළුවට රටවල් රැසක නායකයින් මෙන්ම නියෝජිතයන් පන්සිය දෙනෙකු සමග එක්වීමට නියමිතයි.

2015 වසරේ නොවැම්බර් මස 30 වනදා පැරිස් නුවර පැවති දේශගුණික විපර්යාස පිළිබද සමුළුවේදී ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව සදහා පදනම සකස් වූ අතර ඊට සූර්යබල ප‍්‍රභවයන්ගෙන් පොහොසත් රටවල් 121 ක් ඇතුළත් වනවා. ශී‍්‍ර ලංකාවටද එහි සුවිශේෂි ස්ථානයක් හිමිව තිබෙනවා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය දෙදින නිල සංචාරය අතරතුරදී ඉන්දීය ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ සමුළුවට එක්වන රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.