Tuesday, December 24, 2024

General line - 0115112241

පන්සලයි තරුණ ප්‍රජාවයි මුස්ලිම් ගම් ආරක්ෂා කළා - වතුරකුඹුරේ ධම්මරතන හිමි

හේමන්ත කහවලගේ




මහනුවර ඉකුත්දා ඇති වූ කලහකාරී සිද්ධිය පාලනය කිරීම සඳහා ආගමික නායකයින්ගෙන් ඉහළ දායකත්වයක් හිමි වුණා. මහා සංඝරත්නයද පීඩාවට පත් මුස්ලිම් ආගමිකයින්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් වී කටයුතු කිරීමද එහිදී සිදුවූ ප‍්‍රමුඛතම කාර්යයක්.

ඒ අවස්ථාවේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හරහාද කැපී පෙනෙන දායකත්වයක් සිදුවුණා.  එම කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් සඳහන් කළේ "මෙම ප්‍රදේශය අවට මුස්ලිම් ගම්මාන කිහිපයක් තියෙනවා. එම ගම්මානවලත් නොසන්සුන්තාවයක් ඇති කරන්න පිට පළාත්වලින් පිරිසක් ඇවිත් තිබුණා. අප තරුණ ප්‍රජාව සමග එක් වී එම ගම්මානවලට ආරක්ෂාව ලබා දුන්නා. ඒ වගේම ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතා පිළිබඳවත් සොයා බැලුවා. ඒ නිසා මෙම ප්‍රදේශයේ කිසිදු කලහකාරී සිද්ධියක් ඇති වෙන්න ඉඩ ලැබුන් නෑ." යනුවෙනි.

අන්තවාදීන්ගෙන් සාමාන්‍ය ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා තවදුරටත් පියවර ගතයුතු බවයි උන්වහන්සේ පැවසුවේ. අනාගතයේදී මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ගතහැකි පියවර කඩිනමින් ගත යුතුව ඇති බවද පෙන්වා දුන්නා.

මේ අතර හෙට (13) දිනයේ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට සංවාදය සඳහා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ද වැඩමවීමට නියමිතයි.