Monday, December 23, 2024

General line - 0115112241

වඳ පෙත්ත ගැන වෛද්‍ය මණ්ඩලයකගෙන් පැහැදිළි අනාවරණයක්




වඳභාවය ඇති කළ හැකි පෙත්තක් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසුවා.

ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින්, ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම වෛද්‍යවරුන්ගේ යුතුකම යැයිද, මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැති බවත් ඇය පැවසුවාය. ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වද බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකි බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබ් ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණක් බවයි ඇය පෙන්වා දුන්නේ. පුරුෂයන්ගේ තාවකාලික වඳ බාවයක්  ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැති යැයිද ඇය පැවසුවා.

මෙම අවස්ථාවට කායික රෝග විශේඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ස්නානායක, ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගීතා ප්‍රනාන්දු, කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණි ද සිල්වා, ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය සමත් ගුණතිලක, ප්‍රජනන වෙද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න, හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක සහ මහාචාර්ය රෝහිනී ප්‍රනාන්දුපුල්ලේ සහභාගී වුණා.