ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවා ඇති ගෘහස්ථ සේවකයින්ගේ සේවක අයිතිවාසිකම් සඳහා නීති සංශෝධනයක් අවශ්‍ය බවට කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවා ඇති ගෘහස්ථ සේවකයින් පිළිබඳ සංඛ්‍යාලේඛන නොමැති වුවත්, එවැනි විශාල පිරිසක් සේවයේ යෙදෙන බව පැහැදිලි බවත්, එම ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින කම්කරු නීතිරීති ප්‍රමාණවත් නොවන බවත්, අඩු වැටුපකට සේවයේ යෙදවීම, නිවාඩු ලබා නොදීම සහ සමාජ ආරක්ෂණයක් නොලැබීම ආදී අවාසි සහගත තත්ත්වයන්ට එම කම්කරු ප්‍රජාව මුහුණපාන බව හඳුනා ගෙන ඇතිබව එහි සඳහන්.
කාර්මික ආරවුල් පනත, සේවක අර්ථසාධක අරමුදල් පනත හා අනෙකුත් කම්කරු පනත් මඟින් ගෘහස්ථ කම්කරුවන් ඉවත් කර ඇති නිසා එම කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවට මැදිහත් වීමටද හැකියාවක් මේවනවිට නැත.
ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව 'ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම 2017 - 2021' මඟින්ද හඳුනාගනු ලැබ තිබෙනවා. ගෘහස්ථ සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.