Sunday, December 22, 2024

General line - 0115112241

ගසක් උඩ නැග දිවි බෙරා ගත් පිරිසක් පැරණි කියමනක් මතක් කර දෙයි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




වවුනියාව,ඕමන්ත,කොම්බුවයිත්තකුලම රක්ෂිත ප්‍රදේශයේ මී කැඩීමට ගිය පුද්ගලයෙකු ඊයේ (18) සවස වලස් ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ඕමන්ත,මදර්පනික්කමහිලන්කුලම ප්‍රදේශයේ පදිංචි සෙල්වම් මහේන්ද්‍රන් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු එලෙස වලස් ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ඇති බවයි.

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මී පැණි සෙවීමට කැළෑව තුළට ගොස් ඇති අතර, එහිදි වලස් පැටවුන් සමඟ සිටි වලසකුගේ ප්‍රහාරයට ලක් ව ඇති බව පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් තුවාලකරු සමඟ කැළෑවට පිවිසි පුද්ගලයෙකු පැවසූවේ තමන් මී පැණි කැඩීමට ගිය අවස්ථාවේ වලස් පැටවුන් හය දෙනෙකු සමඟ වලස් රංචුවකට හසුවු අතර එහිදි වලස්දෙනක් විසින් තම සගයාට පහරදුන් අතර තමන් සිදුකළ කෑ ගැසීම් හමුවේ වලසුන් පසු බෑ බවයි.

එහිදි තුවාල ලැබු සගයාද සමග තමන් ගසකට නැගී තමන්ගේ ඥාතීන්ට දුරකථනයෙන් කතාකර තමන්ට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලු අතර, තමන්ගේ ඥාතීන් සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිලධාරීන් දැනුවත් කර පොලිසිය සමග පැමිණ තමන් බේරාගත් බවද සිද්ධියට මුහුණදුන් පිරිස පැවසුවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තැනැත්තාගේ පාදයන්ට වලස් ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල සිදුව ඇති බව වවුනියාව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, පොලිසිය පැවසූවේ සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.