වත්මන් ඉන්දීය රජය සහ එහි නිළධාරීන් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව කටයුතු කරමින් ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුනේ වසර 10 කට පමණ පසුව ඉන්දීය පුවත්පතක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින්.
එහිදි, හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ, ශ්‍රි ලංකාවේ පැවති රජය සහ ඉන්දියාවේ පැවැති රජය මනා අවබෝධයකින් යුතුව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වු බවයි. නමුත් එම තත්වය වර්තමානයේදි දක්නට නොලැබෙන බවයි ප්‍රකාශ කෙරුණේ.
ශ්‍රි ලංකා වරායන්හි චීන සබ්මැරින නැංගුරම් ලා තිබිම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් පළවන වාර්තා මත පදනම්ව ඉන්දියාව අවබෝධයකින් තොරව ශ්‍රි ලංකාව දෙස බලන බව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මතයයි. ඒ සඳහා ඉන්දිය මාධ්‍ය මගින් පළ කරන වාර්තාද බලපෑම් එල්ල කර ඇති බවයි ඔහු පවසා ඇත්තේ. ඒ අනුව ඉන්දිය රජය මෙරට පවතින වත්මන් තත්ත්වය වටහා ගෙන කටයුතු කළ යුතු බවද හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසනවා.
ඉන්දිය රජය සහ තමන් අතර පවතින සබඳතාව සම්බන්ධයෙන් නැගුනු පැනයකට පිළිතුරු දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ කිසිදු සාකච්ජාවක් සඳහා මෙරට විපක්ෂ කණ්ඩායම් සඳහා ඉන්දීය රජය අවස්ථාවක් නොදෙන බවයි.
පසුගිය රජය සමයේදී ඉන්දීය නිළධාරින් රටට පැමිණ විපක්ෂය සමග සාකච්ජා පැවැත්වු බවද ඔහු මෙම සම්මුඛ සාකච්ජාවේදි සිහිපත් කර තිබෙනවා. එහෙත් වර්තමානයේදි මෙරට පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරියෙකුට පවා විපක්ෂයේ නියෝජිතයෙකු හමුවීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරිය යුතු බවත් ඊට හේතුව කුමක්ද යන්න හෝ තමන් නොදන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
මෙම සම්මුඛ සාකච්ජාවේදි ශිවශන්කර් මෙනන්ගේ ග්රන්ථයක් උපුටා දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ශ්‍රි ලංකාව පැහැදිළි පොරොන්දුවක් ලබා දී ඇති බවයි. ඒ අනුව ශ්‍රි ලංකා භුමිය තුලදි ඉන්දියාවට එරෙහිව කටයුතු කිරිමට කිසිදු විදේශිය රටකට ශ්‍රි ලංකා රජය ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කළා.