Friday, December 27, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ‍දෙමළ ජාතික සන්ධානයේ තීරණය 02 වැනිදා

වවුනියාව - මාධව කුලසූරිය




අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ලබන 02 වැනිදා දෙමළ ජාතික සන්ධාන නායක රැස්වීමේදී ගැනීමට නියමිත බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ප්ලෝට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසනවා.
සිද්ධාර්ථන් පැවසූවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් සමඟ සාකච්ජාවකින් අනතුරුව අදාළ තීරණය ගැනීමට නියමිත බවයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ‍උතුරු නැගෙනහිර පළාත් තුළින් පාර්ලිමේන්තුවට නියෝජිතයින් 16 දෙනෙකු තේරී පත්වුවද ඊ.පි.ආර්.එල්.එෆ්. පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමත් සමඟ දෙමළ ජාතික සන්ධානය සතුව ඇත්තේ නියෝජිතයින් 15 දෙනෙක් පමණයි. 
ඊ.පි.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි  ශිවශක්ති ආනන්දන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරනු ලබයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන්නේදැයි ඊ.පි.ආර්.එල්.එෆ්. පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවශක්ති ආනන්දන් ගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ අදාළ කාරණය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.